එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10දා) පිළිගන්වනු ලැබීය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිළිගැන්වීමට කටයුතු කරන බවයි.
මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබේ.
මෙම කමිටුව වසර එකහමාරක කාලයක් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකස් කර ඇත.
එහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
මේ රටේ සිදුවූ ලොකුම නෞකා අනතුර තමයි එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීම. මෙම නෞකා අනතුර හේතුවෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ පරිසරයට සිදුවූ හානියට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක වන්දි මුදලක් ලබාගැනීමට අපි බලාපොරොත්තතු වෙනවා. ඒ මූල්‍යමය වටිනාකමට සාධාරණ හේතු තියෙනවා. මෙම වන්දි මුදල අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම් අපි දිනාගත යුතුයි.විශේෂඥ කමිටුවත් ලෑස්තියි ඕනෑම මොහොතක කරුණු දක්වන්න. ඒ නිසා මේක තවත් දිග්ගස්සන්න අවශ්‍ය නැහැ.
මෙම අනතුර සම්බන්ධයෙන් මේ වනවිට අපේ රටේ අධිකරණයේ නඩු පවරා තිබෙනවා. එමෙන්ම සිංගප්පූරුවෙත් නඩු පවරන්න බළාපොරොත්තු වෙනවා.සිංගප්පූරුවෙදි නඩු පවරන්නේ පරිසර හානිය සම්බන්ධයෙනුයි.ඒ පිළිබඳ අවශ්‍ය මැදිහත්වීම් අධිකරණ අමාත්‍යංශය හා නීතිපති දෙපාර්තමේන්තුව සිදුකරනවා.මේ සම්බන්ධයෙන් නැව අයිති රක්ෂණ සමාගම සමඟත් සාකච්ඡා කරනවා. ඒ සමාගමත් මේ කාරණා තේරුම්ගෙන ඇති බව අපි විශ්වාස කරනවා. මොනව වුනත් මෙම නැව් අනතුරුන් පරිසරයට සිදුවූ හානිය ලඝුකොට සලකන්න බැහැ.
