එකම පවුලේ මවක සහ දියණියක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරේ සිරමැදිරියක් තුළ රදවා සිටි යුධ හමුදා සැරයන් වරයෙකු තන්ගුස් නූලක ආධාරයෙන් ගෙල වැළලාගෙන ඊයේ (23) දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට බන්දගිරිය වෙහෙර ගොඩ අංක 16 හි පදිංචි රණතුංග ආරචිචිගේ සුමිත් ප්‍රියන්ත කුමාරතුංග නමැති (37) හැවිරිදි ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ සැරයන්වරයෙකු බව පොලිසිය කියයි.
මීට වසර 19 පෙර යුද හමුදා සේවයට බැඳුණු මෙම පුද්ගලයා විවාහ වී දරුවන් තිදෙනෙකුගේ පියකු වන අතර ඔහු අවසන් වරට වේයන්ගොඩ යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී ගාල්ල ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ.
ඒ අනුව මෙම පුද්ගලයා නිරන්තරයෙන් ඇය හමුවීම සදහා එම නිවසට යන එන අතරතුරදී එම කාන්තාවගේ 16 හැවිරිදි බාල වයස්කාර දියණිය සමඟ ද ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් ඇය සමග ලිංගිකව සබදතා පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ. මේ අතරතුර දී ඇය වෙනත් පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කිරීමත් සමඟ මොහු හා තිබූ සබඳතා නවතා තිබේ.
ඒ හේතුවෙන් මරණකරු ඇය සමග උරණ වී නිරන්තරයෙන් ඇයට දුරකතන ඇමතුම් දී එම ප්‍රේම සබදතාවය නවත්වන ලෙසට බල කරමින් ඇයට තර්ජනය කොට ඇති අතර පසුව ඒ බව මවට පැවසීමත් සමඟ මව සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ගාල්ල පොලිසිය සැකකාර සැරයන්වරයා සේවයේ නිරතව සිටින වේයන්ගොඩ යුද හමුදා කදවුර දැනුවත් කිරීමෙන් පසුව යුධ හමුදා පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරේ සිර මැදිරියක් තුළ රඳවා සිටියදී නයිලෝන් නූලක ආධාරයෙන් (23) දා ගෙල වළලා ගෙන මෙසේ සිය දිවි හානි කරගෙන ඇතැයි පැවසේ.
පසුව මේ බව දුටු කඳවුරේ නිලධාරීන් සිදිධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට පොලිස් පරීක්ෂණ ආරම්භ වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එම ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ මෘත දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න