නිශ්චිත පක්ෂ නායක හමුවක් කැඳවා කාලනීර්ණයක් ඇතිකර එකඟතාවකට පැමිණපළාත් සභා නවයේම මැතිවරණ එකවිට පවත්වන ලෙස රජයට යෝජනා කර සිටින බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දයේ සීමානීර්ණ වාර්තාව පිළිබඳ ජාතික හෙළ උරුමයේ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අද (21දා) බත්තරමුල්ලේදී අමාත්‍යවරයා මේබව කීවේය.
“දැනට පළාත් සභා තුනක් විසිරිලා වසරකට කිට්ටුයි. තවත් පළාත් සභා 03ක් මේ එළඹෙන සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල විසිරීමට නියමිතයි. ඒවගේම ලබන වසරේදී විසිරීමට පළාත් සභා තුනක් තිබෙනවා. ඒ අනුව අඩුම තරමින් විසිරීමට ලක් වූ පළාත් සභා 06 මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටලුව පැන නැගී තිබෙනවා.
මේ පළාත් සභා කොටස් වශයෙන් පවත්වන්න මුල් වුණේ රටේ පැවැති යුද වාතාවරණය නිසා ආරක්ෂාව සැපයීම පිළිබඳ ගැටලුවක් නිසයි. නමුත් ඊට පසුව එය කිසියම් දේශපාලන උපක්‍රමයක් වුණා, කොටසින් කොටසින් තියලා විරුද්ධ පක්ෂය දුර්මුඛ කර ජයග්‍රහණය කරන්න. ඒ නිසා අපේ පළවෙනි යෝජනාව මේ පළාත් සභා සියල්ලේම මැතිවරණ අදාළ මහ ඇමතිවරුන් සහ ඒ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ලබන වසරට නියමිත බස්නාහිර, දකුණ සහ ඌව මැතිවරණත්, මේ අනෙකුත් පළාත් සභා 06ත් සමග මේ වසරේම දෙසැම්බර් මාසයේ එකවර පවත්වන්න කටයුතු කළ යුතුයි කියන එක.
අපි මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාටත්, අග්රාමාත්යතුමාටත්,විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලටත් ආරාධනා කරනවා හැකි ඉක්මනින් නිශ්චිත පක්ෂ නායක හමුවක් කැඳවලා කාල නිර්ණයක් ඇති කර මෙතනදී පක්ෂ භේදය බලන්නේ නැතිව තමන්ගේ දේශපාලන වාසිය බලන්නේ නැතිව, කවර හෝ විකල්පයකට එකඟ වෙලා මේ පළාත් සභා 09ම ඡන්ද හැකිනම් මේ දෙසැම්බර් මාසයේ පවත්වන්න, නැතිනම් අඩුම තරමේ මේ පළාත් සභා 06 මැතිවරණය මේ දෙසැම්බර් මාසයේ පවත්වන්න කියලා" යැයි සඳහන් කළේය.