එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කමිටු දෙකක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකසන ලද විශේෂ වාර්තා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා තෙක් ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහා සභා සැසි වාරයේදී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විශේෂ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බලහත්කාරයෙන් රඳවාගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වාගැනීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග්රිෆ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බලහත්කාරයෙන් රඳවාගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, එහිදී මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මත මෙම වාර්තා සකසා තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්රීෆ් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට සංචාරය කර තිබේ.