පසුගිය වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සරසවි කඩයිම් ලකුණු මේ දක්වා නිකුත් කර නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2018 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට සිසුන් පෙනී සිටීමෙන් පස්සේ, තවත් සති කිහිපයකින් වසරක් සම්පූර්ණ වෙනවා. එහෙම වුණත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අදාළ කඩඉම් ලකුණු ලබාදීමට මේ දක්වා ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරලා නැහැ. මේ නිසා එම දරුවන්ගේ අනාගතය බරපතල ගැටළුකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා.
මෙම විභාගයෙන් ඉහළ සාමාර්ථ ගත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සදහා අයදුම්පත් ඉදිරිපත් කර තවදුරටත් බලා සිටින්නේ කඩඉම් ලකුණු ප්‍රකාශ කරන තුරුයි.
උසස් අධ්‍යාපනය විධිමත් කිරීමට කැපවන බවට ආණ්ඩුව ප්‍රකාශ කලත්, 2017 වසරේ උසස් පෙළ සමත් සිසුන් සදහා වූ පාඨමාලා ආරම්භ කිරීමද 2019 ජනවාරි දක්වා කල්ගත කර තිබෙනවා.
එම සිසුන්ට වසර 2කට ආසන්න කාලයක් සම්පූර්ණ වෙමින් තිබුණත්, මේ වන තෙක්ම සමහර පාඨමාලා ආරම්භ කරලා නැති බව වාර්තා වෙනවා.
උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් තම විභාග ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක් වයස තරුණ තරුණියෝ බවට පත්වෙලා.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තවත් අවුරුදු 2ක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථාව රටට අහිමි වීමයි.
ඒවගේම තම අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකිවීමෙන් දැයේ දරුවන් අපේක්ෂා භංගත්වයට පත්වීම වලක්වන්න බැහැ. ජාතියේ තරුණ ජීවිත කෙරෙහි ආණ්ඩුවේ වගකීම් විරහිත මෙම ක්‍රියාකලාප වහා නතර කළ යුතුයි.
උපාධිය සම්පූර්ණ කළ වහාම එම දරුවන්ට පෙනී සිටිය හැකි තරග විභාග රැසක් තියෙනවා. ඒ සදහා ඔවුන් වසර 28කට වඩා අඩු වයසේ සිටිය යුතුයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදේශ සේවය, දේශීය ආදායම් නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය, ලංකා බැංකු, මහජන බැංකු විධායක ශ්‍රේණි නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය, සහකාර පොලිස් අධිකාරින් බඳවා ගැනීමේ තරඟ විභාගය ඒ අතර තිබෙනවා. මෙම තරඟ විභාග වසර 2 ක් තිස්සේ නොපැවැත්වීම උපාධිධාරීන් මුහුණදී ඇති තවත් බලවත් ඛේදවාචකයක්.
එක් පැත්තකින් විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කරන වර්තමාන ආණ්ඩුව, තවත් පැත්තකින් උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබාගැනීමට තිබෙන තරඟ විභාග නොපවත්වා වසර ගණනක් ගත කරනවා. ආණ්ඩුව මේකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අපි දන්නේ නැහැ.
තම දරුවා උපාධිය ලබාගන්නා තුරු දුක් මහන්සියෙන් උපයාගත් මුදලත්, ගේ දොර, ඉඩකඩම්, කණකර ආභරණ උකස් තබා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කර ඉන්පසු තම දරුවාගේ අනාගතය ආණ්ඩුවේ නොසැලකිලිමත්කම හේතුවෙන් විනාශ වන බව දැක දැක මෙම දරුවන්ගේ දෙමව්පියන් අද දැඩි අසරණ තත්ත්වයකට පත්වී සිටිනවා. මෙම තත්ත්වය අධ්‍යාපනය හදාරන සමස්ත දරු පරපුරටම බලපෑමක් කර තියෙනවා.
ඒ වගේම මේ වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලන්ඩන් O/L , A/L හදාරන දරුවන් වයස අවුරුදු 20ක් 21ක් වන විට තමන්ගේ උපාධිය හදාරා අවසන් කරනවා.
ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවන විටම අපේ දරුවෙකුට වයස අවුරුදු 21 ක් , 22 ක් වෙනවා. මේ තත්ත්වයට හේතුවී ඇති කාරණා සොයා බලා අපේ දරුවන්ටත් වයස අවුරුදු 21, 22 වන විට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් වන විධියට ක්‍රමක්‍රමයෙන් අපේ අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු බවත් මම අදහස් කරනවා.
මෙම සියලුම කරුණු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරන ලෙසත්, අවම වශයෙන් 2018 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ කඩඉම් ලකුණු ඉක්මනින් ලබාදී උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ පැන නැගී ඇති ගැටළු වහා නිරාකරණය කරන ලෙසත්, කල්දමා තිබෙන විශ්ව විද්‍යාල පාඨමාලා කඩිනමින් ආරම්භ කරන ලෙසත්, ආණ්ඩුවට බලකර සිටින අතර, වසර 2ක් තිස්සේ උපාධිධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත විවිධ ක්ෂේත්රවල තරඟ විභාග කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් මෙම ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.”