මේ වන විට පවතින වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි වාන් දොරටු හතම අද 27 දහවල් මීටර් බින්දුවයි දශම තුනක් හදිසියේ විවෘත කළ බව උල්හිටිය ජලාශ ස්ථාන භාරී නිලධාරීවරයා පැවසීය.
මේ හේතුව නිසා පහළ රත්කිඳ සිට ගිරාදුරුකෝට්ටේ දක්වා ඇති මාර්ගයේ කෝසුව මේ වන විට ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති .
මේ අතර රොටලවෙල, තෙල්දෙණියාය, අළුයටවෙල, දිවුලපැලස්ස යන ප්රදේශවලටද මෙම වාන් දොරටු හරහා එන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද ජලාශභාර ඉංජිනේරුවෝ ගම්වැසියන්ට අනතුරු අඟවති.
මෙම කෝසුව හරහා කිලෝමීටර් දෙකකින් යාමට ඇති දුර මාර්ගය අවහිර වීම නිසා කිලෝමීටර් පහළොවකට අධික විකල්ප මාර්ගය නිතරම භාවිතා කිරීමට සිදුවන බව එම ගම්මානවල වැසියෝ සඳහන් කරන අතර මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසද ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
