පෙරදින (09) උපන්දිනය සමරන ලද ඉංගිරිය ප්රදේශයේ තරුණයෙකු ඉංගිරිය, මහ ඉංගිරියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අද (10දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, නම්බපාන පදිංචිව සිටි දුලංජන නිරාස් ජයවික්රම නම් 22 හැවිරිදි අවිවාහක තරුණයෙකිි.
මොහු තවත් තරුණයෙකු සමඟ යතුරුපැදියෙන් පාදුක්ක සිට ඉංගිරිය දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, එහිදී ඔවුන් පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා පුවරුවක ගැටී ඉන්පසු මාර්ගය අද්දර තිබූ කාණුවක් දිගේ ඉදිරියට ඇදීගොස් තිබූ බව විමර්ශන වලදී හෙළිව තිබේ.
යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර, යතුරුපැදියේ ගමන්ගත් අනෙක් තැනැත්තා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත තැනැත්තාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ප්රකාශයක් ගතහැකි තත්ත්වයක ඔහු නොමැතිවීම නිසා අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ තැනැත්තාද නැතහොත් පසුපැදිකරුද යන්න සම්බන්ධයෙන් සහ අනතුර සිදුවූ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් ලබාගැනීමට නොහැකිව ඇති බව පොලිසිය පවසන අතර, ඉංගිරිය වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා, රථවාහන අංශයේ සැරයන් (39530)සමන් සහ සැරයන් (70153)මෙන්ඩිස් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
