උතුරේ ධීවරයින් ඉන්දියානු ධීවරයින්ගේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හා හානි වූ දැල් ආම්පන්න වෙනුවෙන් විසඳුමක් නොලැබීම මත අද (02දා) යාපනයේ ස්ථාන කිහිපයක විරෝධතාවයන් සහ උපවාසයන් දෙවන දිනටත් පැවත්වෙයි.
යාපනය පේදුරුතුඩුව සුපර් මඩම් ප්‍රදේශයේ ධීවරයින් රැසක් විසින් ධීවර ගැටලුවට විසඳුම් ඉල්ලා අද දෙවැනි දිනටත් උපවාසය ක්‍රියාත්මක කරන අතරම පේදුරුතුඩුව පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයද බොට්ටු දමා හරස් කරමින් පාර අවහිර කොට ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
ධීවර ගැටලුව සම්බන්ධයෙන් ධීවරයින් සමග සාකච්ඡා කිරීම සඳහා විරෝධථාවයන් පැවති ස්ථානයන් වෙතට පැමිණි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාටද ධීවරයින් විසින් විරෝධය පා පවසා සිටියේ, දීර්ඝ කලක් තිස්සේ ඉන්දීය ධීවර ගැටලුව අමාත්‍ය වරයාට දැනුම් දුන්නද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද වන විට ඉන්දීය ධීවරයින්ගෙන් ප්රහාරයන්ට ලක්වීමෙන් උතුරේ ධීවරයින් දැඩි අසරණතාවයකට පත්ව ඇති බවටයි.
එමෙන්ම උතුරු මුහුදු තීරයට ඉන්දීය ධීවර යාත්‍රා දහස් ගණනක් ඇතුලුවුවද නාවික හමුදා භාරයට පත්වන්නේ ඉතාම සුලු පිරිසක් බැවින් ඉන්දීය ධීවරයින්ගේ පීඩාවන් දිනෙන් දිනම වැඩි වී ඇති බවයි.
මේ වන විටත් ඉන්දීය ධීවරයින්ගේ ප්රහාරයන් හමුවේ යාපනයේ ධීවරයන් දෙදෙනෙකුගේ ජීවිත ජනවාරි 31 වනදාද ඊට පෙර අවස්ථා කිහිපයකදීද අහිමි වී ඇති අතරම රුපියල් කෝටි ගණනක දැල් ආම්පන්න සහ යාත්‍රා විනාශ වුවද මෙතෙක් වන්දි මුදලක් හෝ ලබා දීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් නෙකඩවා සිය විරෝධතා ව්‍යාපාරයන් සිදුකරන බව පැවසීය.