ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට යෝජනා කරන,මෙවර "අය - වැයට" විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
"අප කාගේත් ජීවිතවලට ඉතාමත් සෘණාත්මක ලෙස බලපා ඇති මේ ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි ඉවක්බවක් නැතිව ණය අරගෙන, ඵලදායී නොවන ආකාරයට වියදම් කිරීම. එය එකම හේතුව නොවුණත් ප්‍රධානතම හේතුවක්. මීට අමතර හේතු ලෙස රාජ්‍ය කළමනාකරණයේ තිබුණු වැරදි, නායකත්වය තුළ තිබුණු වැරදි මෙන්ම ආර්ථික මොඩලය තුළ තිබුණු වැරදි අපට පෙන්වා දිය හැකියි. 'ණයට අරගෙන - සැපට කකා' ආපු ඒ නාස්තිකාරී ගමන දැන් දරුණු ලෙස ප්‍රශ්න කෙරී තිබෙනවා. එසේ තිබියදීත් ඒ පැරණි මාවතේ පැරණි ආකාරයටම යළි ඉදිරියට යෑමට සූදානම් වෙනවා නම් ඒක ඉතාම භයානක ඛේදවාචකයක්.
මෙවැනි අවස්ථාවක ඉදිරිපත් කරන අයවැයෙන් ඕනෑම රටවැසියකු බලාපොරොත්තු වෙනවා, 'ණය බර තවදුරටත් වැඩි නොකරාවි' කියා. 'ණය ගෙවාගත නොහැක' කියා මහ බැංකුව මගින් ණය හිමියන්ට නිල වශයෙන් දන්වා ඇති රටක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉල්ලා සිටින රටක අයවැය යෝජනා එන්නෙ තවදුරටත් ණය ගැනීමටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැයෙන් විදේශීය ණය රුපියල් බිලියන 560ක් සහ දේශීය ණය රුපියල් බිලියන 1844 ක් ලෙස සම්පූර්ණ ණය රුපියල් බිලියන 2404ක් ලබා ගැනීමට යෝජනා කර තිබෙනවා.
මේ විදිහට තවත් රුපියල් බිලියන 2404කින් රටේ ණය බර වැඩි වුණාම, ලබන වසරේ ණය ගෙවීම සඳහා යම් හැකියාවක් ලැබුණත් එය අහිමි වෙනවා. මෙමගින් ඉතාම පැහැදිලියි අද මේ රටට ලැබෙන්නේ අර්බුදය පියමං කිරීමට සරිලන ප්රශස්ත නායකත්වයක් නොවෙයි, කියා. තවදුරටත් බලන්නේ මෙතෙක් ආපු පැරණි වැරදි සහගත මාවතේම ඉදිරියට යන්න.
එක පැත්තකින් මේ අයවැයෙන් රුපියල් බිලියන 2404ක් අලුතින් ණය විදිහට ගන්න යෝජනා කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණාගෙන කන්න යෝජනා ගෙනල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවය හැර, අන් සියලු ආයතන ලාභ ලබන ආයතන. දිගින් දිගටම පාඩු ලබන, ඒ පාඩුවේ බර මහජනයා වෙත පැටවෙන ආයතන පිළිබඳව පමණයි කවර හෝ පිරිසකගේ 'කොළ එළි' දැල්වී තිබුණේ 'ඒවා විකුණා දැම්මාට කමක් නැහැ' කියා.

කිසිදු රටවැසියෙක් අපේක්ෂා කරන්නේ නැහැ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරමින් ඇවිල්ලා, දැන් කරන්න හදන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණා දමන්නයි. යම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා නම් එය විකිණීම පිළියමක් නොවේ. ලාභ නොලැබීමට හේතු සෙවිය යුතුයි. නමුත් 'පාඩු ලබනවා' කීම උප්පරවැට්ටියක් ලෙස යොදාගන්තා. ඇතැම් ආයතන පාඩු ලබන තත්ත්වයට පත්කර 'පාඩු ලබනවා' කියා විකුණා දැම්මා. එක ආකාරයකට 'පාඩු ලබනවා' කියා විකුණා දැමීම, කන්න ඕනේ වුණාම කබරගොයා තලගොයා කර ගැනීමක්.
රාජ්‍ය කළමනාකරණය යටතේ ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙනවා කියන්නේ ඒවායින් අපේක්ෂා කරන මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා, කියන එක. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ අපි දන්නවා මාර්ගගත ක්‍රමය යටතේ පාසල් ගුරුවරුන් හා පෞද්ගලික පංතිවල ගුරුවරුන් උගන්වන විට ඒවා සමග සම්බන්ධ වීමට අවශ්‍ය දුරකථන සංඥා ලැබෙන ආකාරයට ඇතැම් දරුවන් ගස් උඩ නැංගා. බොහෝ රටවල එවැනි සම්බන්ධතා ලබා දෙන්නේ රජයෙන්. ඒ නිසා ගෙවල් 10ක් තිබෙන ගමටත් එම පහසුකම ලැබෙනවා. නමුත් පෞද්ගලික අංශය ගෙවල් වැඩිපුර රාශිභූත වෙලා තිබෙන ප්‍රදේශවලට විතරයි මෙවැනි සේවා පහසුකම් ලබාදීමට උනන්දු වෙන්නේ.
තවත් නිදසුනක් ගත්තොත් විදුලිබල මණ්ඩලය ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 03ක් පමණ ගිහිල්ලා ගෙවල් දෙක තුනක් තිබෙන තැන්වලටත් විදුලි සැපයුම ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශයට විදුලිය සැපයීම ලබා දුන්නොත් ඔවුන් එම පිරිවැය දරන්නේ නැහැ. දුෂ්කර ගම්මානවලට එහෙමනම් විදුලිය ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට 'දෙපැත්ත කැපෙන ආයුධයක්' පාවිච්චි කරලා මෙතෙක් විකුණා ගැනීමට බැරි වුණු ලාභ ලබන රාජ්‍ය ආයතන ටික අර්බුදය අස්සේ විකුණා දමමින් යළි රාජ්‍ය ආයතන විකුණන් කෑමේ ජාවාරම ඇරඹීමටයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ පොහොට්ටු බලඇණිය සමඟ සූදානම් වන්නේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි මේ අය-වැයට කිසිසේත්ම පක්ෂ වෙන්නේ නැහැ. උත්තර ලංකා සභාගය හැටියට ගොනු වෙලා ඉන්න අපේ මන්ත්‍රීවරුන් සියලුදෙනා අයවැයට විරුද්ධව කරුණු දක්වලා, ඊට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරලා තිබෙනවා"