එච්.අයි. තුෂාර
උතුරු මැද පළාත් රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ට ගෙවීමට තිබෙන අතිකාල හිඟ මුදල් මේ මස 30 වැනිදා ගෙවීමට කටයුතු කරන බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
මීට අමතරව එම හෙද නිලධාරීන්ගේ රාජකාරි පෞද්ගලික ලිපිගොනුවල පවතින ගැටලු මාස දෙකක් තුළ විසඳීමට කටයුතු කරන බවට අද (20දා) පොරොන්දු වූ බවද එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
මෙම ගැටලු දෙක මුල්කර ගනිමින් හෙට (21දා) පළාත් රෝහල් තුළ එක්දින වැඩවර්ජනයක් සිදු කිරීමට සැලසුම් කළද, ගැටලු පිළිබඳ පළාත් සෞඛ්‍ය ලේකම්වරයා හා වෘත්තීය සමිති අතර අද (20දා) සාකච්ඡාවක් පැවැති බවත්, එම සාකච්ඡාවලදී මෙම පොරොන්දු ලබා දුන් බවත් එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් සැලසුම් කළ හෙද වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමූ බවද හෙතෙම පවසා සිටියේය.