2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට පළවන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජන රජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතවල ප්‍රතිපාදනවලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අදාළ යෝජනා සම්මතවලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර, එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින්ද ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති අතර, රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේදී වැරදීමක් සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
යළි එවැනි වැරදි සිදුවීම වැළැක්වීම සඳහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.