උඩරට වතුකරය ආශ්රිත ප්‍රදේශවල මත්වතුර අළෙවිය සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවත්, රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමග පෙර පැවැති අළෙවියට සාපේක්ෂව මේ වනවිට අළෙවිය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණය දක්වා පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසති.
මිල වැඩි කිරීමට පෙර දිනකට ලක්ෂ හතක පමණ මට්ටමේ පැවැති තම මත්පැන්හලේ දෛනික අළෙවිය මේ වනවිට ලක්ෂ දෙකක පමණ මට්ටමට පහත බැස ඇති බවත්, විදුලි බිල හා සේවක වැටුප් ගෙවීමෙන් පසු ලාභයක් ඉතිරි නොවන තත්ත්වයට පත්ව ඇති බව උඩරට ප්‍රධාන නගරයක මත්පැන්හලක හිමිකරුවෙකු කීය.
කම්කරු වෘත්තියේ යෙදී සිටින විශාල පිරිසක් උඩරට වතුකරය ආශ්‍රිතව සිටින බවත්, මත්පැන් වර්ගවල මිළ මෙසේ ඉහළයාමත් සමග ශරීරයට අහිතකර වෙනත් ආදේශ මත්ද්‍රව්‍යවලට ඔවුන්ගෙන් බොහෝ පිරිසක් අනුගතව ඇති බවද මත්පැන්හල් හිමියෝ පෙන්වා දෙති.
මත්පැන් වර්ගවල අළෙවිය අඩුවීමට ප්‍රධානතම හේතුව කෙටි කාලයක් තුළ අවස්ථා රැසකදී විශාල ලෙස මිල ගණන් ඉහළයාම බවත්, උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාවගේ ආර්ථික තත්ත්වය වෙනසක් නොවී පැවතීම තවත් හේතුවක් බවද මත්පැන්හල් හිමියෝ වැඩිදුරටත් කියති.
රජය විසින් මේ දිනවල බොහෝ භාණ්ඩවල මිල ගණන් ක්‍රමයෙන් අඩු කරමින් පවත්න බවත්, එබැවින් අඩුම වශයෙන් අඩු ආදායම්ලාභී පිරිස් වැඩිපුර පරිභෝජනය කරනු ලබන මත්පැන් වර්ග කීපයක හෝ මිල ගණන් අඩු කරන ලෙස මත්පැන්හල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ