උඩරට දුම්රිය මාර්ගය හදන්න විශ්‍රාමික දුම්රිය නිලධාරීන්ගේ සහාය ගන්නැයි ඉල්ලීමක්
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශයට පත් උඩරට දුම්රිය මාර්ගය කඩිනමින් සකස් කිරීම සඳහා විශ්‍රාමික දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස උඩරට දුම්රිය මගීහූ රජයේ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.
දිට්වා බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියයට අසූවක පමණ ප්‍රමාණයක් හානියට පත්ව ඇති බවත්, බොහෝ ස්ථාන දරුණු අන්දමේ නායයෑම්වලට ලක්ව ඇති බවත්, තවත් පාලම් බෝක්කු ඇතුළු දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන විවිධ හානිවලට ලක්ව ඇතැයි ඔවුහු කියති.
මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල හා නාවලපිටිය සිට හැටන් දක්වා වූ මාර්ග කොටස් පමණක් සකස් කර ඇති බවත්, ඒවායේ දුම්රිය කීපයක් මේ වනවිට ධාවනයට යොමු කොට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
උඩරට බොහෝ දුම්රිය ස්ථාන මේ වනවිට දැඩි පාලු ස්භාවයකට පත්ව ඇති බවත්, නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය තුනක් හා උලපනේ ප්‍රදේශයේ මාර්ගය තුළ දුම්රියක් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි ලෙස මාස තුනකට අධික කාලයක් සිරවී ඇතැයි දුම්රිය මගීහූ පවසති.
උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන මේ වනවිට දුම්රිය සේවකයන් විශාල කැපවීමක් දරමින් අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පැවතියද ඒවා සිදු වෙමින් පවතින්නේ මන්දගාමී ලෙස බවත්, අත්දැකීම් බහුල විශ්‍රාමික ඉංජිනේරු, සාමාන්‍යාධිකාරී, රියදුරු, නියාමක, දුම්රිය ස්ථානාධිපති වැනි තනතුරුවල සේවය කරන ලද කීර්තිමත් රාජකාරි ඉතිහාසයක් ඇති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට ඔවුන්ගේ උපදෙස් ලබා ගෙන දිනෙන් දින විනාශයට හා වල් බිහි වෙමින් තිබෙන උඩරට දුම්රිය මාර්ගය සැකසීම උදෙසා රජයේ විශේෂ අවධානය යොමු කළ යුතුව ඇතැයි උඩරට දුම්රිය මගීහූ වැඩිදුරටත් කියති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
