උඩරට දුම්රිය මාර්ග අවහිරය තවදුරටත්
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතර නායයෑමට ලක්ව දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ සැකසීමේ කටයුතු අද (20) දිනයෙත් සිදු කෙරෙමින් පවතින බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ හේතුවෙන් අද (20) දිනයේ ද උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය හා බදුල්ල අතර දුම්රියන් ධාවනය නොවන බවත්, බදුල්ල සිය බණ්ඩාරවෙල දක්වා සංචාරකයන් ගමන් ගන්නා කැලිප්සෝ දුම්රිය පමණක් ධාවනය කරන බවද පාලක මැදිරිය කියයි.
බදුල්ල සිට පේරාදෙණිය හරහා කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගමන් කරමින් සිටියදී මාර්ගයට විශාල ලෙස ගල් පෙරලීමෙන් දුම්රියේ ඇංජිම සහිත කොටස මෙසේ ඊයේ (19) අලුයම පීලි පැනීමට ලක්විය.
පීලි පැනීමට ලක් වූ දුම්රියේ ඇංජිම පීලි ගත කිරීමට අවශ්‍ය කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල අතර මාර්ග කොටසේ දුම්රිය ධාවනය සම්පුර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇති බවද පාලක මැදිරිය සඳහන් කරයි.
දුම්රිය මාර්ගය යතා තත්ත්වයට පත් කරන තුරු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කොට යළි එහි සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
මාර්ගය නායයෑමට ලක්ව දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇතිව තිබෙන අවහිරතා මග හරවා දුම්රිය මාර්ගය යතා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදා රථ සහ දුම්රිය සේවකයන් මෙන්ම යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

