- වර්තමාන ජීවන වියදම දරාගත නොහැකි බව පිළිගන්නවා...
- යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගිහිල්ලා...
- ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී රට සාමාන්‍ය තත්ත්වයට පත්වේවි...
- විපක්ෂයේ හා කුමන්ත්රණකරුවන්ගේ බේගල්වලට අහුවෙන්න එපා...
- ඊළඟට ජනාධිපතිවෙන්නෙත් පොහොට්ටුවේ සහය තියෙන කෙනෙක්...
- පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු මිනිස්සු අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා...
වර්තමානයේ පවතින ජීවන වියදම ඉහළයෑම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමන් පිළිගන්නා බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි. එබැවින් විපක්ෂයේ සහ කුමන්ත්රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ගම්පහ ඔරුතොට ඇවිදින මන්තීරුව ප්‍රතිසංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඒ එම ඇවිදින මන්තීරුව භාවිතා කරන පිරිසකගේ ඉල්ලීමකට අනුවය.
මෙම ඇවිදින මංතීරුව 2011 වසරේදී ආර්ථික අමාත්‍යාංශය හා ගම්පහ මහනගර සභාව එක්ව නිර්මාණය කර තිබේ.
මේ වනවිට එම මංතීරුව ප්‍රතිසංස්කරණය කළ යුතු බවට එය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබුණි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිලිතුරු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ප්රශ්නය- ජනතාවට සහන දෙනවා කිව්වට අද කැරට් අලයක්වත් කන්න බැරි තත්ත්වයක් තියෙන්නේ?
පිලිතුර- කැරට් මිල වැඩි වුණේ වැට් ගහපු නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් යම් කාලයකදී එළවළු මිල වැඩිවෙනවා.
ප්රශ්නය- නෑ..ඇමතිතුමා දැන් ජීවන වියදම වැඩියිනේද?
පිලිතුර- ඇත්ත මේක මිනිස්සුන්ට දරා ගන්න බැහැ. ඒක පිලිගන්නවා. මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල යුධ ගැටුම් තියෙනවා. ලෝකයේ අනිත් රටවලත් තත්ත්වය මෙහෙමයි. නිතර රට යන අනුර කුමාර මහත්තයා මේක දන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. රටේ ඉදිරිය මීට වඩා හොඳ වේවි. ඒක නිසා විපක්ෂයේ සහ කුමන්ත්රණකරුවන්ගේ බොරු බේගල්වලට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.
ප්රශ්නය- ජනාධිපතිපතිතුමත් නිතරම රට යනවනේ?
පිලිතුර- එතුමා යන්නේ රටට ආධාර ගන්න. නමුත් අනුර කුමාර මහත්තයලා රට යන්නේ මේ රට අරාජික කරන්න. එයාල පිටරට ගිහිල්ලා කියනවා ලංකාවට සල්ලි එවන්න එපා කියලා.
ප්රශ්නය - හැබැයි මිනිස්සු කියන්නේ 225ම එපා කියලා?
පිලිතුර- එහෙම කියන්නේ සියයට තුනේ අයනේ. එයාල ඉන්නෙත් ඔය 225 ඇතුලෙම තමයි. ජ.විපෙ හැමදාම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට ගැහුව්වා. එයාල බලන්නෙම රට අරාජික කරන්න.
ප්රශ්නය - ජාතික ජනබල වේඟයට ආණ්ඩුව බයයිද?
පිලිතුර- ගියපාර ජනාධිපතිවරණයේදී එයාලා ගත්තේ ඡන්ද ලක්ෂ පහයි. ඒක සියයට සියයකින් වැඩිකළත් ඡන්ද ලක්ෂ 10යි. සජිත් ප්‍රේමදාස මහත්තය පැරදිලත් ඡන්ද ලක්ෂ 55ක් ගත්තා. බුද්ධිමත් මිනිස්සු මේ දේශපාලන කියවීම තේරීම් ගන්නවා. ජ.වි.පෙට දැන් තියෙන්නේ ෆේස්බුක් රැල්ලක්.
ප්රශ්නය- වත්මන් ජනාධිපතිතුමාට අඩුම තරමින් ඡන්ද ලක්ෂ පහක්වත් තිබුණේ නෑනේ?
පිලිතුර- ඒක තමයි අපි කියන්නේ පොහොට්ටුවේ සහය ලැබෙන කෙනා තමයි රටේ අනාගත ජනාධිපති කියලා.
ප්රශ්නය- හැබැයි පොහොට්ටුව කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්න තීන්දු කරල නෑ කියලයි?
පිලිතුර- අපි නියම වෙලාවට රට ගොඩගන්න පුළුවන් කෙනාට සහය දෙනවා. අර්බුධයෙන් රට ගොඩගන්න ඉදිරියට ආවේ මේ මනුස්සය විතරයිනේ. මෙතුමට ආර්ථික අර්බුදය විසඳගන්න දැක්මක් තියෙනවා. අද කයිය ගහන මිනිස්සු එදා යුද්ධයටත් අකුල් හෙළුවා. ඉතිහාසයේ ඔවුන්ගේ හැසිරීම බලන්න.
ප්රශ්නය- එත් ඇමතිතුමා මේ වෙලාවේ පොහොට්ටුව දෙකට තුනට කැඩිලනේද? ඉතිං එක මතයකට ගන්න පුළුවන් වෙයිද ?
පිලිතුර- ජනාධිපතිවරණය ජයගන්න සියයට 51ඡන්ද ගන්න ඕන. අද මේ රටේ ජාතික ප්රශ්නය හොරු ඇල්ලීම නෙවෙයිනෙ. ආර්ථික අර්බුදය විසඳීමේ අභියෝගය ජයගත්ත නායකයා තමයි වත්මන් ජනාධිපතිතුමා. ඒ නිසා තමයි අපි එතුමාට සහය දෙන්නේ. පොහොට්ටුව හැම තිස්සේම වැඩ කළේ රට ගැන හිතලයි. නමුත් අරගලය හරහා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු මිනිස්සු අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා.
ප්රශ්නය- ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනාවෙත් රට ගැන හිතලනේද?
පිලිතුර- කොරෝනා නිසා දියුණු රටවල මිනිස්සු මහපාරෙ මැරැණා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා අපේ රටේ එහෙම තත්ත්වයක් ඇති වෙන්න දුන්නේ නැහැ. එතුමා රට ඇරියේ එන්නත් තුනම දීලයි. අද කෑ ගහන අය ජීවත්වෙලා ඉන්නේ එතුමා නිසයි.
ප්රශ්නය- අද ඉල්ලීම් දිනාගන්න කතා කරන හැමෝටම ආණ්ඩුව ගහනවා?
පිලිතුර- ගෝඨාභය මහත්තයා විරෝධතා කරන්න වෙනම තැනක් දුන්නා. අන්තිමට මොකද වුණේ. එහෙම කටයුතු කරන්න පුළුවන් රටවල් තියෙනවා. මිනිස්සු මැරීම, ගෙවල් ගිනි තැබීම නෙවෙයි ප්රජාතන්ත්රවාදය කියන්නේ.
ප්රශ්නය - ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බැරිද?
පිලිතුර- පුළුවන්...හැබැයි සාමකාමීව. එහෙම නොවුනොත් අපිත් ඕනම දේකට සූදානම්.
ප්රශ්නය- මේ යනවිදියට රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරන්න පුළුවන් වෙයිද?
පිලිතුර- ඉස්සෙල්ලා ඉල්ලනවද , නැද්ද කියල එතුමා කියන්න ඕන.
ප්රශ්නය - නමුත් එ.ජා.පය කියනව ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිමාම ඉල්ලනව කියලා?
පිලිතුර- හැබැයි එතුමා කියනවා තමන් එ.ජා.පයේ නෙමෙයි කියලා.
ප්රශ්නය- අන්තිමට නොහිතන කෙනෙක් ජනාධිපති වෙයිද?
පිලිතුර- පුළුවන්. හැබැයි ඒ කෙනා කවුරු වුණත් ඔහුට පොහොට්ටුවෙ සහයෝගය අනිවාර්යයි. ඒක තමයි මහපොළවේ ඇත්ත.