මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම සඳහා තානාපති කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඊයේ දින (6/16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි.
“මැදපෙරදිග කලාපයේ ඇතිවි තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ ඊශ්‍රායලයේ හා ඉරානයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශය විදිහට මේකට අවශ්‍ය මැදිහත්වීම කරනවා. අපි දෙරටේම තියෙන තානාපති කාර්යාල සමග සෘජු සම්බන්ධතා පවත්වගෙන යනවා. මේ මොහොතේ අපි ප්‍රමුඛත්වය ලබාදීලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියො කිසිම කරදරයක් නැතුව ආරක්ෂා කරගන්න එකට. ඊට අදාළව අපි තානාපති කාර්යාල නිළධාරීන් හරහා අවශ්‍ය මැදිහත්වීම කරගෙන යනවා.
අපි දෙරටේම සිටින ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍ය ඕනෑම වේලාවක තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංක ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඊට කිසියම් තාක්ෂණික බාධාවක් තිබෙනවා නම් අපිත් එක්ක සෘජුවම සම්බන්ධ වෙන්න. අපේ මූලිකම පරමාර්ථය අපේ ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව. ඊට අපි රජයක් විදිහටත් අමාත්‍යාංශයක් විදිහටත් අවශ්‍ය මැදිහත්වීම කරනවා.
මේ වෙලාවේ අපි කියන්නේ ශ්‍රි ලාංකිකයින්ට තමන් ඉන්න රටේ ආරක්ෂක අංශ කියන මාර්ගෝපදේශ අනුව, අදාළ රටවල නීතිරීතිවලට අනුව මේ මොහොතේ කටයුතු කරන්න.” යනුවෙන් ප්‍රකාශ කළේය.
