දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 10 වීදියගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මෝටර් රථය හරස් කර රියදුරු එළියට ඇද පහර දී මෝටර් රථයෙන් පළා යමින් සිටි ව්‍යාපාරිකයකු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගැලනිගම රථවාහන පොලිසිය සඳහන් කරයි.
පහර කෑ අම්බලන්ගොඩ බටේපොල පදිංචි 54 හැවිරිදි රියදුරු බරපතළ තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
කුරුදු ව්‍යාපාරිකයකු යටතේ සේවය කරන රියදුරු කුරුඳු තොගයක් කොළඹට රැගෙන ගොස් යලි අධිවේගී මාර්ගයේ අම්බලන්ගොඩ බලා යමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් වෙනත් ලොරි රථයකට ඉස්සර කර තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පහරකෑ ලොරි රියදුරු ගේ පිටුපසින් පැමිණි මෝටර් රථයේ සිටි සැකකාර පුද්ගලයන් දෙදෙනා තමන්ට ඉස්සර කිරීමට ඉඩ නොදුන්නැයි උරණව මෙම පහරදීම සිදු කර තිබූ බව පොලීසිය සඳහන් කරයි
එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් අනෙක් වාහන වල රියදුරන් සිය වාහන නවතා ලොරි රථ රියදුරුට අමානුෂික ලෙස පහර දෙන පුද්ගලයන් දෙදෙනා පිළිබඳ1969 අධිවේගී මාර්ග පාලක මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබූ බව පොලිසිය කියයි
එලෙසම තවත් කීප දෙනෙකු එය වීඩියෝ දර්ශන කර තිබූ බවත් පොලිසිය කියයි.
මෙම පහරදීම හේතුවෙන් විනාඩි 45ක පමණ කාලයක් අධිවේගී මාර්ගයේ එම ප්‍රදේශයේ වාහන මදකට නතර කිරීමට සිදුවිය.
ලද පණිවුඩය අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායන මෝටර් රථයේ ලියාපදිංචි අංකය මත්තල දක්වා තිබෙන පිටවීමේ දොරටු වල පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පිට වීමට යාමේදී අත්අඩංගුවට ගෙන ගැලනිගම රථවාහන පොලිසිය වෙත භාර දී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇල්පිටිය රෑකඩ හේනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය