ත්‍රීරෝද රථ වලට සතියකට ලබා දෙන ඉන්ධන ලීටර් පහ වෙනුවට ඉන්ධන ලීටර් තිහක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවා සංගමය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද (13දා) මහරගම නගර මධ්‍යයේ දී පැවැත්වුණි .
මහරගම කොට්ටාව පිලියන්දල බොරලැස්ගමුව දෙල්කඳ සහ පන්නිපිටිය ප්‍රදේශවල වෘත්තීය ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන රියදුරන් තම ත්‍රිරෝද රථයේ කළු කොඩියක් ඔසවා ගෙන පැමිණ මෙම විරෝධතාවයට සහභාගි විය.
ඒ සඳහා සහභාගී වූ ත්‍රී රෝද රථ රියදුරන් මහරගම ඔරලෝසු කණුව අසල හයිලෙවල් මාර්ගයේ ත්‍රීරෝද රථ නවතා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ පාඨ කියමින් පැයක පමණ කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය .
එහිදී QR කෝටාවට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරනු , ඉන්ධන මිල පහත හෙලනු ,ත්‍රීරෝද රථ රැකියාවේ සුරක්ෂිතභාවය ඇතිකරනු , ත්‍රීරෝද රථයට කුඩම්මාගේ සැලකිලි , අපි ඕනේ ඡන්දෙට විතරද , රාජපක්ෂගේ වික්‍රමසිංහගේ සැප වෙනුවෙන් තුන්රෝදෙටත් ඔට්ටුයි නන්දෙ , මිලත් වැඩියි තෙලුත් නෑ මේ ආණ්ඩුවක්ද , යනුවෙන් සඳහන් පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නියැළුණහ .
මෙහිදී වෘත්තීය ත්‍රීරෝද රථ සේවා සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
පවතීන උද්ධමනය මත කිසිසේත්ම ත්‍රීරෝද රථ කර්මාන්තයෙන් උපයන මුදල පවුල් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නැහැ . ඒ විතරක් නෙමෙයි සතියකට අපිට ලැබෙන්නෙ ඉන්ධන ලීටර් පහයි.ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ .සමහර වෙලාවට දුරබැහැර හයර් එකක් ලැබුනොත් ලීටර් පහෙන් යන්න බෑ. ඒ හයර් එක මග මඟහැරෙනවා කස්ටමර් කැඩෙනව.
මේක පාලකයන්ට තේරෙන්නෙ නෑ .හම්බකරන මුදලින් එදාවේල ගත කරන්න හැකියාවක් නැහැ .වාහනය නඩත්තු කරන්න, දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න, ගෙදරදොරේ කනබොන බඩු ටික ගෙනියන්න මේ මුදල මදි . ඒ නිසා තමයි අපි මේ ලීටර් 5 සතියකට ලීටර් 30 දක්වා වැඩි කරන්න කියන්නේ.
අපිට මේ සහනය පමණක් දෙන්න. වෙනත් සහන අපි රජයෙන් ඉල්ලන්නේ නැහැ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
