කිසිදු හේතුවක් නොමැතිව ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මෙතෙක් සංස්ථාව ලැබූ 4%ක් ශුද්ධ ලාභය මේ වනවිට 6%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මෙම ලාභය විදේශීය ඉන්ධන පිරිවුම්හල්වලටත් ලැබෙන බවත් ඉන්ධන, වරයා, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය අගෝස්තු මාසය දක්වා කාලය තුළදී සංස්ථාව රුපියල් බිලියන 96ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙන බවත්, මෙම කාලය තුළදී රජයට රුපියල් බිලියන 110ක බදු ගෙවා තිබෙන බවත් එම සංමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
සංස්ථාව සතුව මාස තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවත්, එවන් තත්ත්වයක් තුළ ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ඉහළ දැමීම තුළින් සංස්ථාව තවදුරටත් අධික ලෙස ලභා උපයා ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
සංස්ථාවට අමතරව විදේශීය සමාගම් දෙකක් මේ වනවිට ඉන්ධන අලෙවි කරමින් තිබෙන බවත්, මේ නිසා තරගකාරී ලෙස ඉන්ධන අලෙවි කිරීම සඳහා මිල නියාමන කොමිෂමක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
2002 වසරේදී තරගකාරී මිලට ඉන්ධන අලෙවි කිරීම සඳහා මිල නියාමන කොමිෂමක් ඇති කළ යුතු බවට යෝජනා කරනු ලැබුවේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු සමයේදී බවත්, මේ වනවිට ජනාධිපති ධුරය දරනු ලබන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා සාධාරණ මිලකට ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා මිල නියාමන කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත්, මීට අමතරව ඉන්ධන සම්බන්ධ විෂය මහජන උපයෝගිතා කොමිසමට යටත් කළ යුතු බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.