එළඹෙන සෙනසුරාදා වනවිට ඉන්ධන පිරවුම්හල් අසල පෝළිම්වල නොසිට ඉන්ධන ලබාගැනීමේ හැකියාව උදාවනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ, එම තත්ත්වය උදා කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ශක්තිමත් සහයෝගයක් ලබාදෙමින් පවතින බවයි.
කෙසේවුවද මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිදු තීරණයක් මෙතෙක් රජය විසින් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා,
"මේ මොහොත වනවිට තෙල් ටොන් 20,000ක් අපේ ගබඩාවල තිබෙනවා. තවත් තෙල් ටොන් 32,000ක නැවක් අද බාන්න පටන් ගන්නවා. ඒ නිසා තෙල් බෙදාහැරීම ගිය සෙනසුරාදා ඉඳන් ආරම්භ කළා. මේ මොහොත වනවිට සෑම නගරයකම බෙදුම්හල්වලට තෙල් ලබාදීලා තිබෙනවා.
මම විශ්වාස කරනවා මේ අපි යන වැඩපිළිවෙළ සාර්ථක වූණාම ලබන සිකුරාදා, සෙනසුරාදා වනවිට අපේ පිරහුම්හල්වල පෝළිමේ නොසිට තෙල් ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා.
ඒ වගේම විදුලබල අමාත්‍යාංශවලටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න අවශ්‍ය ඩීසල්, දැවි තෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි.
අපි බලාපොරොත්තු වුණේ පසුගිය 05වැනිදා සිට විදුලිය කැපීමක් නැතිව යන්න. ඒ කටයුත්ත ආරම්භ කළත් තවමත් සමහර ස්ථානවල විසන්ධි කිරීම් තිබෙනවා. එහෙත් ලබන සඳුදා, අඟහරුවාදා පරණ යථාතත්ත්වයට විදුලිය, ඛනිජතෙල් පත් වෙයි කියලා මම විශ්වාස කරනවා" යනුවෙන් පවසා සිටියේය