විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (27දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය.
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ඉල්ලීමකට අනුව ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉන්දුනීසියානු නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡා කර, ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක (ආසන්න වශයෙන් ඇමරිකාලනු ඩොර් මිලියන 1.6) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට සැපයීම සඳහා ඉන්දුනීසියාවේ සෞඛ්‍ය නිලධාරීන් සහ ඉන්දුනීසියාවේ ඖෂධ කර්මාන්තය සමඟ එක්ව කටයුතු කළ බව තානාපති ටොබින්ග් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ විස්තර කළා ය.
මෙම මානුෂීය ආධාර තොගය කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වන බවත්, පළමු කාණ්ඩය අද (28දා) ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ජකර්තා සිට ප්‍රවාහනය කෙරෙන බවත් තානාපතිනිය සඳහන් කළා ය. ඉතිරි තොගය මැයි 8 වැනි ඉරිදා දින මෙරටට ගෙන එනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ඉල්ලීමට අනුව, දින දහයක් ඇතුළත මෙම ආධාර තොගය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉන්දුනීසියානු නිලධාරීන් සහ ඖෂධ සහ සෞඛ්‍ය ක්ෂේත්රය එක්ව පරිත්‍යාග කළ බව තානාපතිනිය අමාත්‍යවරයාට දන්වා සිටියේ ය. දෙරට අතර පවත්නා දිගුකාලීන සමීප මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය මොහොතේ දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් ඔවුන් සතුටට පත්වන බවද එතුමිය සඳහන් කළාය.
