ඉන්දු පාකිස්තාන තරගයට එන සියලු දෙනාගේ ආරක්ෂාවේ වගකිම රජය
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඉන්දියා සහ පාකිස්ථාන කණ්ඩායම්වල සහභාගීත්වයන් සම්බන්ධව රජය පසුගිය කාලසීමාව තුළ මැදිහත්වූ බවත් තරගාවලියට සහභාගී වන සියලු කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
කලාපයේ පවතින විවිධ ප්‍රශ්න මත ඉන්දු පකිස්ථාන් තරගය නොපැවැත්වීමේ තත්වයක් පැවතියද රජය විවිධ මැදිහත්වීම් සිදු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෙම තරගය පැවැත්වීමට හැකි වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ඉදිරියේදී තරග කිහිපයක් පැවැත්වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තරගයන් පැවැත්වීම වෙනුවෙන් මැදිහත්වීම් සිදු කළ බවත් ජනාධිපතිවරයා ද පාකිස්ථාන අගමැතිවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධව පාකිස්ථාන රජය නිල වශයෙන් දැනුම් දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් රටක් වශයෙන් සතුටුවන බව පවසන අමාත්‍යවරයා කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගැනීමට හැකි වන බවත් රටවල් අතර සහයෝගීතාවය, මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට මැදිහත්වීමට අවස්ථාවක් සැළසෙන්නේ නම් එය නොපිරිහෙළා ඉටුකිරීමට සූදානම් බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ක්‍රිකට් තරගයට සහභාගීවීමට සියලු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවට ආරාධනය කරන බව පවසන අමාත්‍යවරයා රජය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු වගකීම් දරන බවද හෙතෙම අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
