හම්බන්තොට වරායට එළැඹෙන 11වැනි දා පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දී ඇති බවත්, එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමත් සමග ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇති බවත්, ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත අප අනුගමනය කළ යුතු වන්නේ නොබැඳි විදේශ පිළිවෙත මිස අනෙකක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙමගින් පෙනී යන්නේ තවමත් පවතින අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කර නොගනිමින්, එය ඉන්දු- පැසිෆික් ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන් යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවත්, එසේම අපේ රට ඉන්දු - පැසිෆික් මෙහෙයුමේ ගොදුරක් බවට පත්කිරීම පිණිස යුහුසුළුව ක්‍රියාත්මක වූ බැසිල් රාජපක්ෂ ප්රමුඛ නඩයේ බලපෑමෙන් වත්මන් පාලනයද මිදී නොමැති බවද වීරවංශ මහතා සඳහන් කළේය.
එවැනි රට වළපල්ලට ඇද දැමූ විනාශකාරී නඩයක බලපෑම්වලට නතුවෙමින් ගන්නා මෙවැනි තීරණ මගින් සිදුවන්නේ අනාදිමත් කාලයක සිට සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළ කල්‍යාණ මිත්‍රයෙකු වන චීනය සමගද රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් පැන නැගීම පමණක් බවද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.