තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (28දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම අවස්ථාවේදී, 2014 වර්ෂයේ උතුරු වසන්තය වැඩසටහනට සමඟාමීව ඉන්දියානු හා ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කළ ගිවිසුමට අනුව ඉදිකළ, යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් යන මහත්වරුන් අතින් එය ජනගත කරන ලදී.
ඉන්දියානු රජය විසින් උතුරු පළාතේ ඉදි කළ මෙම සංස්කෘත මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැවරීමට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත භාරදීමට ද මෙහිදී සිදු විය.
එසේම, පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත් වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවේ එකඟතාවයකට අනුව, බෞද්ධාගමේ පුනර්ජීවනය ඇතුළු කරුණු හතක් සඳහා යෙදවීමට ඉන්දියානු රජය විසින් පිරිනමන ලද ඩොලර් මිලියන 15 ක මුදල සඳහා ගිවිසුම් හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු විය.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය.
බෞද්ධාගමේ ප්‍රවර්ධනය, සංස්කෘතික ප්‍රවර්ධනය, භික්ෂූන් වහන්සේලාගේ දැනුම ප්‍රවර්ධනය, දෙරට අතර වන්දනා කරුවන්ගේ ප්‍රවර්ධනය හා ධාතු ප්‍රදර්ශනය ඇතුලු කරුණු හතකට අදාළව මෙම මුදල ප්‍රධානය කිරීම සිදු කර තිබේ.
මෙම අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුලු උසස් රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්, ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


