2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ශ්‍රී ලංකාවට ලැබුනු වහාම රටපුරා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එමෙන්ම දිවයින පුරා පුරා ගොවීන්ට යුරියා පොහොර ලබා ගැනීමට පහසුවන පරිදි රජයට අයත් ලංකා කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් බෙදා හැරීම් සිදු කෙරේ . ඒ සඳහා දැනටමත් ලොරි රථ 2000ක් මගින් බෙදා හැරීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඩීසල් ලීටර් 125,000ක් වෙන් කරන ලෙස ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා වෙත ලිපියක් යැවු බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම යුරියා පොහොර තොගය ඉන්දීය රජය විසින් එම රටේ වී හා බඩඉරිඟු වගාව සඳහා ඔමාන් රටෙන් ඇණවුම් කරන ලද්දකි. මෙම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට නියමිතය . එමෙන්ම ලබන මස 06 දින යුරියා පොහොර තොගය ලැබුනු පසු, දින කිහිපයක් තුළ ඒවා රටපුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ගොවි සංවිධානවල ඉල්ලීම මත යුරියා හොණ්ඩරයක් රුපියල් 10,000ක මුදලකට ලබා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
දැනට වෙළෙඳ පොළ තුළ යුරියා පොහොර හොණ්ඩරයක අලෙවි මිල රුපියල් 40,000 සිට 42,000 දක්වා වේ.
මෙම පොහොර තොගය ජූලි මස 06 දින ලැබීමට නියමිත අතර , ලැබුනු වහාම ඒවා කිලෝග්‍රෑම් 50 බෑග්වලට ඇසිරීම සඳහා අවශ්‍ය මළු මේ වනවිට ඇණවුම් කර ඇති බවත් ජූලි මස 10-15 කාලය තුළ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.