යාපනය ඩෙල්ෆ් දූපතට සහ මන්නාරම් ඉරණතිව් මුහුදු තීරය අතරේ පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 16 දෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයින් විසින් ඩෙල්ෆ් මුහුදු තීරයට වයඹ දෙසින් සහ මන්නාරම ඉරණතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.
ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රා දෙක සහ ඔවුන් විසින් අල්ලා තිබූ මසුන්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පවත්නා සෞඛ්යාරක්ෂිත පියවරයන්ට අනුව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 16 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.


