ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීිය අග්‍රමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දී මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාවරයා හා පැවැති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ඕමානයේ සිට ඉන්දියාවට ආනයනය කරන එම පොහොර සහිත නැව ඝෘජුවම ශ්‍රී ලංකාවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, අදාල පොහොර තොගය ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතිබවත්ය.
එසේම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම අප රටේ පශු සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ද ලබා දීමට ද මෙහිදී එකඟත්වය පළ කරනු ලැබීය. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂයෙන් සතුන්ට අවශ්‍ය ආහාර හිඟකම නිසා මේ වනවිට කිරි, බිත්තර හා කුකුළුමස් කර්මාන්තයේ යම් බිඳ වැටීමක් සිදු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. මේ නිසා මෙරට දියර කිරි නිෂ්පාදන කර්මාන්තය සියයට 19.8කිනුත්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කිනුත් , බිත්තර නිෂ්පාදනය සියයට 35කිනුත් පහත වැටී තිබේ. එම ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ජනතාවට දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව මේ වනවිට ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් සිදු නොකරන සූර්යකාන්ත වගාව පුළුල් කරන ලෙස ඉන්දීය මහකොමසාරිස්වරයා ඉල්ලීමක් කළේය. සූර්යකාන්ත වගාව ව්‍යාප්ත කරන්නේ නම් ඊට අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණික හා වෙළෙඳපොල සහයෝගිතාව ඉන්දියාව මගින් ලබා දීමට කටයුතු කළ හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.
සූර්යකාන්ත තෙල් සඳහා ජාත්‍යන්තර වෙළෙද පොළේ ඉහළ ඉල්ලුමක් හා මිලක් පවතී. එමනිසා අප රටේ එම වගාවට සුදුසු පරිසරයක් පවතින හෙයින් ගොවීන්ට ඉහළ ආදායමක් ද ලබා ගත හැකි බව ද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ගොවිතැනට අවශ්‍ය පොහොර ලබා දීමට ඉන්දීය රජය ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් ඉන්දීය අග්රාමාත්යතුමන්ටත්, ඉන්දීය මහකොමසාරිස්වරයාටත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාටත් පළ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.