සජිත් අලියා අමතක කරනවා කියන්නේ වදාපු අම්මයි, උපන් පළාතයි අමතක කරනවා වගේ යැයි හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පැවසීය.
හිටපු අමාත්‍යය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන කටයුතු සමාරම්භ කරමින් පරිසර දිනයට සමගාමීව එප්පාවල, අලුත්වැව පුරාණ තම්මැන්නාගම වැව අසල මී පැළ රෝපණය කිරිමට එක්වෙමින් ඔහු මේ බව පැවසී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා,
ඇයි මම අනුරාධපුරයට ආවේ, දුටුගැමුණු ඉපදුන ගම තිස්සමහාරාමය මම දිනුවා, මගේ ගමේ ඉඳන් හැතැම්ම 135 ක් දුර ඇවිත් කැළණිය මම ඡන්ද එක්ලක්ෂ හැට පන්දහසකින් දිනුවා. ඒ ගම් දෙකේ කරපු වැඩ බලන්න. මගේ අත්දෙක පිරිසිදු නිසා තමයි මම මේ පුරවරයට ආවේ.ගොඩක් අය කියලා තියනවා මම දැක්කා පිටින් එකෙක් ඇවිත් කියලා, මිහිදු හිමියෝ වැඩියේ පිටින් නෙමෙයිද, බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ පිටින් නෙමෙයිද?, සිංහලයාගේ පටන් ගැන්ම කොහෙද? ඉතිහාසයම බැලුවොත් පිටින් නෙමෙයිද ඔක්කොම ඇවිත් තියෙන්නේ.
ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයට සූදානම් වෙන්න දෙයක් නෑ, ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ ඉඳන්ම අපි සූදානම් වූ පිරිසක්. අලුත් පිරිසක් නෙමෙයි.මැතිවරණ කොමසාරිස්තුමා වෙඩිල්ල පත්තු කරන්නත් කලින් ඉඳන්ම සූදානම්. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය කල්දානවා කියලා කියන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙහෙල් මෝරු ටිකක්නේ, ආණ්ඩු පක්ෂයේ කෙහෙල්මෝරු, උගුඩුවෝ,මුගටි, පළාපනුවෝ වගේ සත්තු ඉන්නවා.උන් තමා ඕවා කියන්නේ.
මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙනවා කියලා කියනවා ඒ වගේ දේවල් වෙන්නේ නෑ. ඒ වගේ වෙන්නේ නැති දේවල් වලට උත්තර දීලත් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමන්වත්, අපේ පක්ෂයේ උදවියවත් මේ කිළිටි වුණ, හොරකම් කරපු මිනිස්සු ඉන්න , වැරදි කරපු මිනිස්සු ඉන්න, ඇමරිකාවට ගැති වුණ මිනිස්සු ඉන්න , මිනී මරපු මිනිස්සු ඉන්න, කොමිස් ගත්ත මිනිස්සු ඉන්න, බොරු කියපු මිනිස්සු ඉන්න, බලයට කෑදර මිනිස්සු ඉන්න, සකල පස් පව් කරපින්නාගෙන ඉන්න උදවියත් එක්ක ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ පක්ෂය, රනිල් වික්‍රමසිංහ මැතිතුමන් එක්කාසු වෙයිද? නෑ, එහෙම එක්කාසු වෙන්නේ නෑ, මට ස්ථීරතාවයක් තියෙනවා. කවුරු ගියත් මර්වින් සිල්වා යන්නේ නෑ, ලිහලා බලාපු මල්ල මට ඔබන්න දෙයක් නෑ, පොහොට්ටුවේ උන් සේරම මම දන්න ඈයෝ.මගේ ලඟ හිටගත්ත කට්ටියත් දැන් ඔතන ඉන්නවා ඇමතිවරු. මමත් ඒ කැබිනට් එකේ ඇමතිනේ. අනිත් එක උන්ට ඉස්සර මන් නැතිව මහින්ද මහත්තයා ළගට යන්න බෑ”.
එප්පාවල - තිසර සමල්