ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි
ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.
2024 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.96 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී ප්‍රේෂණ ලැබීම් 20.1% න් ඉහළ ගොස් තිබේ.
2024 වර්ෂය තුළදී මෙරටට හිමිවූ විගමණික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.57 ක් වන අතර, මේ අනුව සැලකීමේදී 2025 වර්ෂය ඉතිහාසයේ ඉහළම ප්‍රේෂණ වාර්තා කළ වර්ෂය වනු ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රි ලාංකිකයින් 296,010 දෙනෙකු 2025 තුළදී රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයින් 181,605 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් 114,405 දෙනෙකු අයත් වේ.
වත්මන් රජය ගෙන ආ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගුණාත්මක තත්ත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදේශ ගතකිරීමට කාර්යාංශය පියවර රැසක් ගත් බවත්, 2025 වර්ෂය තුළදී ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම ශ්‍රි ලංකා රජය, වෙනත් රටවල් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලට ශ්‍රි ලාංකිකයින් යොමු කරන බවත්, විදේශ රැකියා ලබාදීමේ කාර්යය සඳහා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන හා රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ගේ කැපවීම ඉතාමත් අගය කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
