කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි.
"මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගිවෙලා සිටිනවා. මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත් “අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.
මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා.
අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලුදෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමග සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ.
නමුත් මෙතැන තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ලෝකයේ සෑම රටකම මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවා.
මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා. කී දෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මගින් දොස් නගා තිබෙනවද, ඇතැම්විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ සිදු කරනවද. දැන් ඒ අයට තිබෙන සහනය මොකක්ද, සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මටත් එම ගැටලුව තිබෙනවා.
විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. එම සහනය ලබාදීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සදහා ඇතුළත් කිරීමට.
තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත් කී දෙනෙක්ට නඩු කියන්න පුළුවන්ද, ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.
මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින්ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි.
ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබාදී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.
දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා. මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාව විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සාහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමටයි.
ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලුත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහායි. අපි මේ හැම බලපත්රයක්ම නොමිලේ ලබාදුන්නා. එය ලබාගත් ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.
මෙම ක්‍රමවේදය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කිය ලද"