ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්රදේශයේ පදිංචිව සිටි ඩබ්. මෙරිල් ශාන්ති (අවු.52) නමැති තිදරු පියෙකි.
අදාළ පුද්ගලයා පෙරේදා (18දා) බරපතළ තුවාල සහිතව නාපෝලි නගරේ මාර්ගයක වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාපොලි ආරංචිමාර්ග සඳහන් කරයි.
මරණකරු වසර 25ක පමණ කාලයක සිට ඉතාලියේ රැකියාව කරමින් සිය බිරිඳ හා දරුවන් සමග ජීවත්ව තිබේ.
මෙම මරණය මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීමෙන් සිදු වූවක්ද, නැතහොත් පහරදීමක්ද යන්න අනාවරණය කර ගැනීමට නාපෝලි නාගරික පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
නාපොලි නගරයේ විවිධ ස්වදේශික මැර කණ්ඩායම් ක්රියාත්මක වන අතර, එරට ජීවත් වන විදේශිකයන් එම කණ්ඩායම්වල ප්රහාරයට ලක්වන බවත්, මරණකරුද එලෙස ප්රහාරයකට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ සිදු කරන බවත් එරටින් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.