ඉඩමකට බහින් බස් වීමකින් අනතුරුව සහෝදරයෙක් මරුට
ඇල්පිටිය බටුවන්හේන පොල්ගස්වත්ත ප්රදේශයේ අද (26) දවල් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු එක් සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වූ බව ඇල්පිටිය පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය, බටුවන්හේන,පොල්ගස්වත් පදිංචි හැත්තෑතුන් හැවිරිදි ජී.ඒ.කරුණාසේන නමැති පස් දරු පියෙකි.
මේ පුද්ගලයාගේ මිය යාම ඉතා අභිරහසක් බවත් ඔහු මිය යන්නට ඇත්තේ මේ බහින්බස්වීම සිදුවූ අනෙක් සහෝදරයා එල්ල කරන ලද කුරුඳු පොලු පහරකින්ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
මේ සොහොයුරන් දෙදෙනාගේම නිවාස පිහිටා තිබෙන්නේ සිද්ධිය වූ ස්ථානයට නුදුරුව බවත් දෙදෙනා අතර ආරවුල ඇති වූයේ ඉඩමක් මැනීම සම්බන්ධයෙන් බවත් මේ ඉඩම මිනුම් කටයුතු සඳහා මිනින්දෝරුවන් පැමිණීමෙන් පසු එම මිනුම් කටයුතු නිමාවීමෙන් පසුව මෙසේ දෙදෙනා අතර මේ ඉඩම සම්බන්ධයෙන් බහින් බස්වීමක් සිදුවීමෙන් පසු ඇතිවූ ගැටුමෙන් විය හැකි බවට සැකකරන බවත් පොලීසිය කියයි.
සහෝදරයන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමේ අවස්ථාවේදී මියගිය අයට අනෙක් සහෝදරයා කුරුඳු පොල්ලකින් පහරදී ඇතැයි තොරතුරක් ලැබී ඇති බවත් කුරුඳු පොලු පහර කෑ සහෝදරයා එම පහර කාගෙනම සිය නිවස අසලට පැමිණ බිම වැටී ඇති බවට ද තොරතුරු ලැබුණු බවද පොලීසිය කියයි.
සහෝදරයා විසින් එල්ල කරන ලඳ මේ කුරුඳු පොලු ප්රහාරයෙන් පසුව පවුලේ අය එක්ව ඔහු වහාම ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බවත් පොලීසිය කියයි.
මේ ගැටුමෙන් පසු මේ පුද්ගලයා මිය ගියේ සහෝදරයා එල්ල කරන ලදැයි කියන කුරුඳු පොලු පහරින්ද නැතහොත් මේ ගැටුම නිසා ඔහුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් නිසාද යන්න පිළිබඳව සොයා බැලීමට මහේස්ත්රාත් පරීක්ෂණයක් අද (26) ආරම්භ කළ බවත් එහි ප්රතිඵල මත මෙය ඝාතනයක් ද නොඑසේනම් වෙන හේතුවක් මත මිය යාමක් ද යන්න පිළිබඳව සොයා බලන බවත් ඝාතනයක් නම් මිය ගිය පුද්ගලයාට කුරුඳු පොලු පහර එල්ල කළේ යයි කියන සහෝදරයා මනුෂය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා බවත් පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
