සිය නෑනා ඇසිඩ් ගසා බරපතල තුවාල සිදු කොට මරණයට පත් කළේ යයි වැරදිකරුවකුවූ අයෙකුට බරපතල වැඩ සහිත සත් අවුරුදු සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ(18) නියෝග කළේය.
මෙසේ බරපතල සිර දඩුවම් හා දඩමුදල් ගෙවීමට සිදුවූයේ ඌරගස්මංහන්දිය, මහ ඌරගහ පරුස්සගොඩ පදිංචි ජයසිංහ සුමනරත්න නමැත්තාටය.
යාබද නිවසේ පදිංචි සිය භාර්යාවගේ සොහොයුරාගේ භාර්යාව වන මල්ලිකා කුමාරි නමැති සිය නෑනාට විත්තිකරු ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමකදී ඇසිඩ් ප්රහාරයක් එල්ල කර ඇත්තේ 2007 වසරේ අගෝස්තු 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බවත් ඇසිඩ් ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගතව නේවාසික ප්රතිකාර ලබමින් සිටියදී 2007 සැප්තැම්බර් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මිය ගිය ඇති බවත් කියමින් ඌරගස්මංහන්දිය පොලීසිය අධිකරණයට කරුණු ගොනු කර තිබුණි.
ඇසිඩ් ප්රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහලේදී මිය ගිය තැනැත්තියගේ මිය යාම ඝාතනයක් බව උපකල්පනය කරමින් පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවවට ඉදිරිපත් කරන ලද අතර .ඇසිඩ් ගසා සිය නෑනා ඝාතනය කළේ යයි කියමින් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරන ලදි..
2007 වසරේ ගොනු කළ මේ නඩුව වසර 17ක දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරු මිනීමැරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඇසිඩ් ප්රහාරයෙන් විත්තිකරු නෑනාට සිදු කල බරපතල තුවාල ඇති කළ බව සැකයකින් තොරව ඔප්පුවන බැවින් විත්තිකරුට සත් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දෙන ලෙසත් රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කොට තිබූ මේ නඩුව රජයේ අධි නීතීඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය හා හිරුණි අල්මේදා මෙනවිය මෙහෙයවූ අතර උප පොලිස් පරීක්ෂක කේ.එම්.ජේ.ප්රසන්න මහතා ඊට සහායවිය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත