ඇස්බැස්ටස් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දි තිබෙනවා.
ඇස්බැස්ටස් ෂීට් වහල සඳහා යොදා ගැනීම අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මීට මාස තුනකට පෙර අනුමැතිය හිමි වුණා.
මෙම ෂීට් භාවිතය නිසා සිදුවන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගනු ලැබුවේ.
ඇස්බැස්ටස් තන්තු දීර්ඝ කාලයක් ආශ්වාස කිරීම හේතුවෙන් පෙනහළු ආශ්රිත පිලිකා වැළදෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඇස්බැස්ටස් ආනයනය නිසා දේශීය උළු කර්මාන්තයේ ද කඩා වැටීමක් සිදු වුණා. 2017 වසරේ සිට ඇස්බැස්ටස් තහනම් කිරීමට යෝජිතව තිබුණත් එය ක්‍රියාත්මක නොවූ අතර වත්මන් රජය යටතේ ඇස්බැස්ටස් වහල සඳහා යොදා ගැනීම අවම කිරීමට අවදානය යොමු වුණා.
ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර අලුතින් ඉදි කෙරෙන පාසල් හා පෙර පාසල් ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් යොදා ගැනීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කෙරුණු අතර ඊට අනුමැතිය හිමි වුණා. එම අනුමැතියෙන් පසු මාස දෙකක් තුළ එය ක්‍රියාත්මක විය යුතුයි. එය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම පිළිබඳ සොයා බලන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙන්නේ.