ඇස්බැස්ටස් භාවිතය අවම කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය අදාළ බලධාරින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.
ඇස්බැස්ටස් ෂීට් වහළ සඳහා යොදා ගැනීම අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මීට මාස තුනකට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඇස්බැස්ටස් ෂීට් වහළ සඳහා යොදා ගැනීම මගින් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සැළකිල්ලට ගනිමින් ඇස්බැස්ටස් නිවාසවල වහළ සඳහා යොදාගැනීම අවම කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලැබීය. විශේෂයෙන් ඇස්බැස්ටස් තන්තු දීර්ඝ කාලයක් ආශ්වාස කිරීම නිසා පෙණහළු ආශ්රිත පිළිකා වැළඳෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී තිබිනි.
එමෙන්ම ඇස්බැස්ටස් ආනයනය නිසා දේශීය උළු කර්මාන්තයේ ද යම් කඩා වැටීමක් තිබිනි.
2017 සිට ඇස්බැස්ටස් තහනම් කිරීමට යෝජිතව තිබුනත් එය ක්‍රියාත්මක වුයේ නැත. නමුත් වත්මන් රජය යටතේ ඇස්බැස්ටස් වහළ සඳහා යොදා ගැනීම අවම කිරීම සඳහා අවධානය යොමු විය.
ඒ අනුව 2021 අවසන් වීමට ප්‍රථම අලුතින් ඉදි කෙරෙන පාසැල් හා පෙර පාසැල් ගොඩනැඟිළි සඳහා ඇස්බැස්ටස් යොදා ගැනීම තහනම් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරන ලදුව ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ පසු එම තීරණය මාස දෙකක් තුළ ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඇස්බැස්ටස් පෙරපාසැල් හා පාසැල් ගොඩනැගිලි සඳහා යොදා ගැනීමේ තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අදාල බලධාරින්ට නොහැකි වුයේ ඇයි ද යන්න සම්බන්ධව තමන්ට සැකයක් පවතින බව අමාත්‍යවරයා පවසයි.
එමනිසා වහාම ඒ සම්බන්ධව විමර්ශණයක් පරිසර අමාත්‍යාංශය මට්ටමින් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
දැනට මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි පරිසර අමාත්‍යාංශයේ මෙම විෂය බාරව කටයුතු කරන නිලධාරියා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එමනිසා වරද ඇත්තේ කොතැනද යන්න සෙවිය යුතුය යන අදහසේ සිට තමන් කටයුතු කරන බවත්, අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක නොකිරීමට කිසිදු නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.