ඇවන්ටගඩ් සිදුවීමට අදාළ කටයුතු පාවාදුන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල චරිත තුනක් බවත්, මහ බැංකු බැඳුම්කර සිදුවීම, එන්ට්‍රස්ට් සිදුවීම හරහා රජය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
රත්නපුරයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ඇත්ත වශයෙන්ම මේ රජයට ලබාදුන් ජනවරමේ කොටසක් වුණේ ජාතික මංකොල්ලය ගෙන ගිය පිරිස්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර යුක්තිය ඉටු කරයි කියන බලාපොරොත්තුව. මමත් පිළිගන්නවා ඒ පැත්තෙන් අපේ ආණ්ඩුවෙත් අසාර්ථක භාවයක් තිබෙනවා.
පටන් ගත්තේ ඇවන්ගාඩ්වලින්. මේ ආණ්ඩුවේ ප්‍රබල චරිත තුනක් එකතු වෙලා ඇවන්ගාඩ් එකම පාවා දුන්නා. අද ඔප්පු වී තිබෙනවා නාවුක හමුදාවට රුපියල් කෝටිය ගානේ දවසට එන බව. මෙය ඉස්සර ගියේ පුද්ගලයන්ගේ සාක්කුවලට, විදේශ ගිණුම්වලට. එතනින් පටන්ගෙන මහ බැංකු ගනුදෙනුව, ඒ වගේම එන්ට්‍රස්ට් සිදුවීම වගේ මහාපරිමාණ ගනුදෙනු හරහා රජය පිළිබඳව විශ්වාසය කිසියම් දුරකට බිඳ වැටී තිබෙනවා.
එය නිවැරදි කර ගැනීම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ ප්‍රබල වගකීමක්. ජනතාවගේ මනාපයෙන්, ඡන්දයෙන් ඇවිල්ලා ජාවාරම්කාරයන්ට අවශ්‍ය විදිහට හැසිරෙන පුද්ගලයන් ගැන තීරණ ගැනීම ජනතාවගේ වගකීමක්. ඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත ඉන්න පුළුවන්. නමුත්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් පිට කිසිම කෙනෙකුට පදවියක් තානාන්තරයක් ලැබෙන්න දෙන්නේ නැහැ.
එතුමාගේ සහෝදරයන්ටත් වඩා දැන් එතුමාට වැදගත් වෙලා තිබෙන්නේ එතුමාගේ දරුවෝ. ඒ අනුව ඉදිරි කාලයේ දරුවන්ට අවශ්‍ය විදිහට පාර හදනවා මිස, ඒකාබද්ධ විපක්ෂය රටටවත්, රටේ ජනතාවටවත්, රටේ අනාගතයටවත් පාර හැදෙන තැනක් නෙමෙයි.” යැයි පැවසීය.