විස්සයි විසිදෙක අය වැය වැඩියෙන්ම වෙන්වෙලා තියෙන්නේ නව ජීවන උත්පාදන සංවර්ධන වැඩසටහන්වලට බවත් මේ අවස්ථාවේදී කතා කල යුත්තේ ඇවිදින මංතීරු සෑදීමට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද(17 ) පැවසීය.
අම්බලන්ගොඩ පොල්වත්ත ෂාන් විජයලාල් මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි එසේ කී ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
ජිනීවා මානව හිමිකම් සමුළුව යන මේ අවස්ථාවේදී මැතිඇමතිවරු බොහෝම පරිස්සමින් වැඩකටයුතු කළ යුතුයි. ඒ මක්නිසාද යත් කියනවා නම් ඒ ඒ අයගේ පෞද්ගලික ක්රීයාකාරම්ද මීට විශාල වශයෙන් බලපාන්න ඉඩ තියෙනවා.
දැන් ආයෙත් සමහරු ඇවිදින මංතීරු ගැන කතා කරන්න පටන් අරන්. මේ ඒ සදහා සුදුසු කාලය නොවේ. ඒ විතරක්ම නොවේ ඇවිදින මංතීරූ සෑදිය යුතු කාලයක්ද නොවේ.තව මොනතරම් ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවාද.ඒවා ගැන කතා නොකර ඇවිදින මංතීරු ගැන කතා කිරීම ජනතාවට යක්ෂයා ආරූඪ කරනවා වගේ වැඩක්.දැන් ජනතාව කොරෝනාව නිසා ඇති තරම් පීඩාවට පත්වෙලයි ඉන්නේ එහේම අවස්ථාවක ඇවිදින මංතීරු ගැන කතා කිරීම විහිළුවක් වෙනවා.
විස්සයි විසිදෙක අයවැය වැඩියෙන්ම වෙන්වෙලා තියෙන්නේ නව ජීවන උත්පාදන සංවර්ධන කටයුතු වෙනුවෙන්.එහිදී නව රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.ඒ තුළින් රටට යම් වැඩදායී සංවර්ධනයක් වේවී යයිද විජයලාල් මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත