ඇඹිලිපිටිය, ඇල්ලේවැව ජලාශ යෝජනා ක්රමයේ සියළු ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
අමාත්‍ය වරිය මේ බව සඳහන් කළේ පසුගියදා ඇල්ලේවැව වාරි ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයකට එක් වෙමිනි.
එහිදී අමාත්‍ය වරිය නිලධාරීන් ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ ජලාශයේ ඉදිකිරීම් වේගවත් කිරීම ට පියවර ගන්නා ලෙසයි.
ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටින ගොවි ජනතාව ට නිසි කලට වේලාවට ජලය සැපයීම තුලින් ඔවුන්ගේ වගා කටයුතු සිදුකරගෙන යාමට විශාල ශක්තිය ක් වනු ඇතිබව ද හෙතෙම කීවාය.
වලවේ ගඟේ අතු ගංගාවක් වන එරාපෝරු ගඟේ සිට, කිතලබොක්ක අමුණ මගින් ජලය හරවා යවන කඩිගන්ආරුව ඇල හරස් කර මෙම ඇල්ලේවැව ජලාශය නිර්මාණය කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ මෙහෙය වීම යටතේ 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ ඇල්ලේ වැව වාරි ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ අරමුදල් පමණක් වැය කරන අතර එම මුදල රුපියල් මිලියන 1532 කි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ පනාමුර සහ හුලංදාව ඔය ව්‍යාපාර යටතේ වගා කෙරෙන අක්කර 1447 ක් සඳහා යල මහ දෙකන්නයේ අඛණ්ඩව ජල සැපයුම පවත්වාගෙන යාම වේ.
.එමෙන්ම ඇඹිලිපිටිය සහ කොලොන්න ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ පවතින පානීය ජල අර්බුදයට ඇල්ලේවැව ජලාශ ව්‍යාපෘතිය මඟින් තිරසර විසඳුමක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.
තවද නව කුඹුරු ඉඩම් අක්කර 350 ක් සඳහා මෙමඟින් ජලය සැපයීමට ද නියමිතය.

