ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය ඉකුත් සිකුරාදා( 01දා) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාළවී ඇති බව රෝහල් බලධාරීහු පවසති. යූ.ටී. නානායක්කාර නම්වූ මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු ඊයේ (05දා) රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීම නිසා ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන් ම ඇණහිට ඇති බව ද රෝහල් බලධාරීහු කියති. ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍යව ඇති බව රෝහල් බලධාරීහු කියති. එසේ තිබියදීත් හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරීම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම දැඩි අසීරු කරුණක් වී ඇත.
සබරගමු පළාතේ කෙළවරක ඇඹිලිපිටිය දිසා මහ රෝහල පිහිටා ඇත. දකුණු සහ ඌව දෙපළාතේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්ද, දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලින් ද රෝගීහු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට පැමිණෙති.
දිනකට නේවාසික රෝගීන් දෙසීයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව රෝහල් බලධාරීහු කියති. 2022 වසරේදී පමණක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් සැත්කම් 9144ක් සිදුකර ඇත. එම වසරේදී රෝගීන් 65895ක් ප්‍රතිකාර සඳහා නේවාසිකව ඇතුළත් වී ඇති බව ද රෝහල් බලධාරීහු කියති.
නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුවද, ඇය විදෙස්ගත වී ඇද්ද යන්නද මෙතෙක් අනාවරණය වී නැත.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්න- ජේ නානායක්කාර