මිදි ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වන බැවින් වගා කිරීමට සුදුසු මිදි ප්‍රභේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 2018 වසරේදී තමන් උපදෙස්දී තිබුණද, මේ වන තෙක් එය ක්‍රියාත්මක වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කෙසේවුවද, විශේෂ කාර්ය බළකායේ සේවයේ සිට විශ්‍රාමගත් රණවිරුවෙකු වන ඌව පරණගම ඇත්කඳවක ග්‍රාමයේ ජේ.එම්.ඩබ්. බණ්ඩාර නමැති ගොවි මහතෙකු විසින් අත්හදා බැලීමක් ලෙස මේ වනවිට සාර්ථකව වගා කර ඇති ‘ඊශ්‍රායෙල් බ්ලු’ නමැති මිදි ප්‍රභේදය, මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බවට නිරීක්ෂණය වී තිබේ.
අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක මිදි වගාව සාර්ථකව සිදුකරන බණ්ඩාර මහතා කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැළ සකස් කරන බවත්, ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත් සඳහන්ය. එසේම මිදි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් අස්වනු නෙළන කාලයට පැමිණෙන බවත් එමගින් ඔහු ඉහළ ආදායමක් උපයන බවත් සඳහන්ය.
මෙරට තුළ මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හඳුනාගෙන පැවතියද මේ වනවිට යාපනයේ වගා කරන ‘ඉසබෙලා’ නමැති මිදි වර්ගය වයින් සැකසීම සඳහා පමණක් උචිත බවටද මතයක් පැවැතිනි.
කෙසේවුවද, ‘ඉසබෙලා’ නමැති මිදි ප්‍රභේදය වගා කිරීමට නිර්දේශ කර තිබියදී බණ්ඩාර මහතා විසින් අත්හදා බැලීමක් වශයෙන් වගා කරන ලද ප්‍රණීත රසයකින් යුත් ඊශ්‍රායෙල් බ්ලු නමැති මිදි ප්‍රභේදය මෙරට තුළ කවර ප්‍රදේශයක වුවද, වගා කළ හැකි බවට හඳුනාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව බණ්ඩාර මහතාගේ මිදි වගාව නරඹා එම ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත්රයේ විද්වතුන්ටත් ආරාධනා කරන බවත්, එසේම ඊට අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.