ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල විමර්ෂණය ප්‍රමාද කිරීම පිළිබඳව කණස්සල්ල පළකරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය 16 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ නිවස ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටිම සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසට තමන් ලිඛිතව අවස්ථා හතරකදී ඉල්ලීම් කළ බවයි.
එහෙත් ඒ සදහා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මානව හිමිකම් කොමිෂන් සභාවට සිය කණස්සල්ල පළකර තිබේ.
පැමිණිල්ලට අනුව නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පසුගිය වසරේ අගෝස්තු මස 29 වැනිදා පෙරවරු 10.00ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කොමිසමේ ලේකම්වරයා සිතාසියක් මගින් තමන්ට දැනුම් දුන්නද එදින පාර්ලිමේන්තු දිනයක් වූ බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ලිඛිතව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.
එබැවින් තම පැමිණිල්ල පිළිබදව කොමිසමේ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කඩිනමින් තමන්ට සුදුසු දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසට රණතුංග මහතා පසුගිය 16 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමුකළ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.