ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුවූ බවට වන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු විය. මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියේය.
චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර තිබේ.