අනුරාධපුර බන්ධනාගාරය තුළදී පසුගියදා ඇතිවූ සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් අද (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ.
පැමිණි මුල් අවස්ථාවේදී එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට එම මන්ත්‍රීවරුන්ට අවසර ලැබුණු අතර පසුව ඔවුන් පිටව ගියහ.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිප දෙනෙකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති විශේෂ සිර මැදිරිය අසලට ගොස් සිටි රැඳවියන් කිහිප දෙනකු එළියට ගෙන ඝාතනය කරන බවට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ එල්ටීටීඊ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බව එම මන්ත්‍රීවරුන් මෙහිදී පැවසූහ.
සිරකරුවන් බැහැ දැකීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් එළියට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා මෙසේ පැවසීය.
“පසුගියදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ තර්ජනයට ලක්වූ එල්ටීටීඊ රැඳවියන් දෙදෙනෙකු හමුවන්න අද අවස්ථාවක් ලබා දුන්නා. එක්කෙනෙක් සුලක්ෂන්, අනිත් කෙනා තමයි වේලන්, ඒ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන කොට අපිට කිව්වා, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසලා ප්‍රකාශ සටහන් කරගත් බව.
ඊට අමතරව එම රැඳවියන් අපෙන් ඉල්ලා සිටියේ, ඉක්මනින්ම ඒ අයව උතුරේ හෝ නැගෙනහිර බන්ධනාගාරයකට මාරු කරලා කරලා ඒ අයගේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලයි. අපි එම ඉල්ලීම රජයට හා ජාත්‍යන්තරයට පැහැදිලි කරලා මම රැඳවියන්ගේ මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වහාම ඒ රැඳවියන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා.”
මෙම අවස්ථාවට දෙමළ ජාතික ජනතා පෙරමුණු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාද සහභාගි විය.