කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම හා ඒ අවට ප්රදේශයට මෑතක සිට රාත්රී කාලයට කඩාවදින ඇතෙකු සිදුකරන පහරදීම් ,අනතුරු හා දේපොළ හානි හේතුවෙන් එහි ජනතාව භීතියට පත්වී සිටිති.
රාත්රී කාලයේ නිවාසවලට පහරදී එවා කඩාබිඳ දමා ඒ තුළ ඇති වී තොග පිටතට ඇදගෙන ගොස් කාදැමීම්, රාත්රී කාලයේ පැල් රැකීමට යන ගොවියන්ට මහ මගදී පහරදීම්, වාහන අනතුරවලට ලක් කිරීම්. මෙන්ම වගාහානි සිදු කිරීම් කිහිපයක්ම පසුගිය මාසයක පමණ කාලය ඇතුළතදී අදාළ ප්රදේශයෙන් වාර්තාවූ අතර ඊට ආසන්නම සිදුවීම 8 දින අලුයම ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ගම්මානයෙන් වාර්තාවිය.
අලුයම එකයි තිහට පමණ බලගොල්ලාගම ගම්මානයේ නිවසක වී ගබඩාකර තිබූ කාමරයක බිත්තියකට හා ජනේලයකට පහරදී කඩාබිඳ දමා ඇති මෙම ඇතා එම කාමරයේ තිබූ කිළෝ දෙසිය පනහකින් පමණ සමන්විත වී උර 6ක් පමණ පිටතට ඇදගෙන ගොස් කා දමා ඇති බවත්. එහිදී ඇතාව පළවා හැරීමට ප්රදේශවාසීන් මෙන්ම එහි පැමිණි ප්රදේශයේ වනජීවී නිලධාරීන්ටද මහත් පරිශ්රමයක් දැරීමට සිදුවූ බවත් උදෑසන සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට එහි ගිය අපට එම නිවැසියන්ගෙන් දැනගැනීමට ලැබුණි.
‘‘ මායි දරු තුන්දෙනයි විතරයි ඒ වෙලාවෙ ගෙදර හිටියෙ. අපි නිදා ගෙන ඉද්දි එකපාරටම ගේ පිටිපස්සෙන් සබ්දයක් ඇහුණා. නැගිටල ඇවිත් බලද්දි ඇතා බිත්තිය කඩල වී උර අදිනව. ඒ වෙලාවේ අපි කෑ ගහපු සද්දෙට අහළපහල අයවගේම ටික වෙලාවකින් වනජීවී එකෙනුත් ඇවිත් අලි වෙඩි එහෙම ගැහුවත් ඇතා ගියෙ නෑ.
පස්සේ මේ ළඟ කෙනෙක් මහ ටැක්ටරයක් ගෙනත් රේස් කළා. ඊට පස්සේ ඒ සද්දෙටද කොහෙද තමයි ඇතෑ මෙතනින් ගියේ.‘ යැයි මෙම සිදුවීම සියැසුන් දුටු බව කියන නිවැසි ආර්.ඩී. සුමුදු මහත්මිය කීවාය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි

