විෂමාචාර ක්රියා හේතුවෙන් ඉකුත් 08 වෙනිදා අත්අඩංගුවටගත් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු සැකකරුවන් හයදෙනා සහ ඉකුත් 12 වැනිදා අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම් සංජය සුදත් ධර්මදාස යන සැකකරුවන් ඉකුත් 13 වෙනිදා මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව එක් සැකකරුවෙකු ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් අනෙක් සැකකරුවන් හයදෙනා ජනවාරි මස 24 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්රාත් ඒ.එල් සජිනී අමරවික්රම මහත්මිය විසින් නියෝග කළාය.
මෙහිදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ලද නීතීඥවරුන් කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණයට රහස්ය ප්රකාශයක් සිදුකිරීමට කැමැත්ත ප්රකාශකරන හෙයින් ඊට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඒ අනුව ජනවාරි (18) වෙනි දින සැකකරු අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලීසියට නියෝග කරනු ලැබුවාය.
ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද දැවකඳන් පහක්,විදේශ රට වල නිෂ්පාදිත විවිධ වර්ග වලට අයත් මත්පැන් බෝතල් 38 සහ විවිධ පොලිස් ස්ථාන වලින් ලබා දෙන ලද තෑගි පෙට්ටි (හැම්පර්) 18 තම පොලිස් ස්ථානය භාරයේ ඇති බව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට දැනුම්දෙන ලදි.
විෂමාචාර ක්රියා සම්බන්ධයෙන් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා,ඔහුගේ රියදුරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඉකුත් දහවෙනි දින අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණු අතර රැඳවුම්නියෝග යටතේ පස්සර පොලිස් ස්ථානයේ රඳවා සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරන ලද තොරතුරු අනුව ඉකුත් 12 වෙනිදා ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාද අත්අඩංගුවට ගෙන සැකකරුවන් හත්දෙනාම ඉකුත් 13 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගරු අධිකරණය මඟින් පස්වන සැකකරුවන මොරටුව එගොඩඋයන නදී මාවතේ පදිංචි වීරප්පුලිගේ එමෝද්ය කවිශංඛ යන අය රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදි.
මොණරාගල සුමනසිරි ගුණතිලක