ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනය කාබනික සීනි නිෂ්පාදනය කිරීම (26) වෙනිදා ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාබනික සීනි නිෂ්පාදනය ඇරඹුවේ ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගමයි.
ගෝලීය සහ දේශීය වෙළඳපොළ තුළ කාබනික සීනි සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, දේශීය අවශ්‍යතාව සපුරා ලීම සඳහා විදේශ වෙළඳපොළෙන් කාබනික සීනි මෙරටට ආනයනය කිරීම මේ වන විට සිදු කරමින් පවතී. වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී දේශීය උක් කර්මාන්තය සහ දේශීයව නිෂ්පාදනය කරන සීනි සඳහා ඇති ඉල්ලුම පහළ යාම හේතුවෙන්, සාමාන්‍ය දුඹුරු සීනි නිෂ්පාදන කර්මාන්තය මේ වන විට දැඩි අභියෝගයකට ලක්ව ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතිමලේ වැවිලි සමාගමේ සභාපති අනුරත් අබේරත්න මහතාගේ දැක්ම අනුව, සහ අධ්යක්ෂ සවිඳු අබේරත්න මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ගෝලීය කාබනික සීනි අවශ්‍යතාව පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය මත, බිඳ වැටී ඇති සීනි කර්මාන්තය නැවත ගොඩනැගීම සඳහා ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් කර්මාන්තශාලාව කේන්ද්‍ර කර ගනිමින්, ලංකාවේ ප්‍රථම වතාවට දේශීය කාබනික සීනි නිෂ්පාදනය ඇරඹීමට කටයුතු කර ඇත. දේශීය සහ විදේශීය වශයෙන් කාබනික සීනි සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් ඇණවුම්කරුවන් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් පවතී. එම ඇණවුම්වලට අවශ්‍ය සැපයුම් සිදු කිරීමට මේ වන විට පියවර ගනිමින් පවතී.
කාබනික සීනි නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය උක් දඬු නිෂ්පාදනයේදී එම වගාවන් සඳහා පහත පියවර අනුගමනය කෙරේ:
* වගාවේදී කෘතිම පොහොර, පළිබෝධනාශක, වල්නාශක හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවීන් (GMO) භාවිත නොකෙරේ.
* ගොවිතැන් ක්රමවලදී පාංශු සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ පාරිසරික තිරසාර බව අවධාරණය කෙරේ (වගා චක්‍ර භාවිතය, ස්වභාවික පාංශු සංශෝධන භාවිතය, සහ හානිකර රසායනික අපද්‍රව්‍ය වළක්වා ගැනීම).
* කාබනික සීනි නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තශාලාව තුළ කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකිරීම.
ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය නිසාම ඇතිමලේ සීනි කර්මාන්තශාලාව මේ වන විට ජාතික හා ජාත්‍යන්තර තත්ත්ව සහතික ගණනාවක් ලබාගෙන ඇත
* ISO 9001-2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය
* ISO 22000-2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකය
* GMP - යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකය
* පරිසර ආරක්ෂණ බලපත්‍රය
* GHG 14064 - හරිතාගාර වායු සහතිකය
* SLS - ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ සහතිකය
Peterson Solution & Consultancy සහ Control Union ආයතන මූලිකත්වයෙන් කාබනික සීනි නිෂ්පාදනය සඳහා නිර්දේශ කරනු ලබන EU Organic (European Union Organic Regulation), JAS (Japanese Agricultural Standards) සහතික ලබා ගැනීම සඳහා ද මේ වන විට අවශ්‍ය කටයුතු යොදා ඇත.
මෙම සාර්ථක දැවැන්ත වැඩසටහන යටතේ, මෙම ප්‍රදේශයේ ගොවීන් කාබනික උක් වගාව සඳහා යොමු කර ගැනීම තුළින් ඔවුන්ගේ උක් සැපයුම වෙනුවෙන් වෙළඳපොළේ ඉහළම මිලක් එම උක් සැපයුම වෙනුවෙන් ලබා දීම සඳහා ආයතනය මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර ඇත. ඒ තුළින් ඔවුන්ට ලැබෙන ඉහළ ආදායම් මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම ද ආයතනයේ අරමුණයි. වසර දෙකක් ඇතුළත කාබනික සීනි සඳහා පවතින දේශීය වෙළඳපොළ ඉල්ලුම සහ විදේශීය වෙළඳපොළ ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ අනුව දේශීය පාරිභෝගිකයින්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයින්ට ද විෂ රසායනිකවලින් තොර, ඉහළ ප්රමිතිකරණයක් යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ, ශරීරයට හිතකර සීනි පරිභෝජනය කිරීමට අවස්ථාව උදා වී ඇත. ඒ අනුව ඇත්ගල ප්ලාන්ටේෂන්ස් සමාගමට අයත් සුදුසු ඉඩම්වල කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද උක් අස්වැන්නෙන් පළමු කාබනික සීනි තොගය නිෂ්පාදනය 2025 සැප්තැම්බර් මස 26 වන දින මෙසේ ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික සීනි කර්මාන්තශාලාව ලෙස ඇතිමලේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කෙරිණි.ඇතිමලේ සීනි කර්මාන්තශාලාවේ නිර්මාතෘවරයා වන්නේ අනුරසේන සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති අනුරත් අබේරත්න මහතා යි. සුදු සහ දුඹුරු සීනි යන දෙවර්ගයම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ එකම ස්වාධීන සීනි කර්මාන්තශාලාව මෙයයි.
ඉතා කෙටි ඉතිහාසයක් තුළ තරඟකාරී සීනි නිෂ්පාදන ආයතනයක් ලෙස ඇතිමලේ සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ස්ථිර ස්ථාවරත්වයක් තහවුරු කර ගැනීමට සමත් වී ඇත. ප්‍රධාන නිෂ්පාදනය වන සීනි නිෂ්පාදනයට අමතරව අතුරු නිෂ්පාදන ලෙස එතනෝල්, ද්‍රව කාබන්ඩයොක්සයිඩ්, කාබනික පොහොර, ජෛව වායු සහ විදුලිබල නිෂ්පාදනය ද ආයතනයේ නිෂ්පාදන තුළට ඇතුළත් වී ඇත. වර්තමානය වනවිට දෛනික කර්මාන්තශාලාවේ උක් ඇඹරීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 1200ක් පමණ වන අතර එමගින් දෛනිකව සීනි මෙට්‍රික් ටොන් 100ක් පමණ නිෂ්පාදනය කළ හැකිය.
ඒ අනුව වාර්ෂික උක් ඇඹරීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 252000ක් වන අතර වාර්ෂික සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18000කට ආසන්න වේ.මෙහි ගබඩාවේ ධාරිතාව දිනකට එතනෝල් ලීටර් 15000ක් වන අතර වාර්ෂික එතනෝල් නිෂ්පාදනය ලීටර් මිලියන 3.8ක් පමණ වේ. මෙම සීනි කර්මාන්තශාලාව තුළ මෙගාවොට් 04ක විදුලි බල උත්පාදනයක් සිදුකළ හැකි අතර එයින් මෙගාවොට් 02ක් පමණ ප්‍රමාණයක් කර්මාන්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කෙරේ.
අතිරේක මෙගාවොට් 02ක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන අතර එමගින් පවුල් 15000කට වැඩි පිරිසකට විදුලිය ලබාදීමට හැකියාව ලැබී ඇත. සීනි යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍යයකි. වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය සීනි කිලෝග්‍රෑම් 30 පමණ වන අතර, රටේ මුළු වාර්ෂික සීනි අවශ්‍යතාව ටොන් 650000 ඉක්මවයි. ප්‍රමාණවත් පරිදි දේශීය සැපයුම නොමැතිවීම හේතුවෙන් සීනි ඉල්ලුමෙන් 88%කට වඩා ආනයනය කිරීමට සිදු වන අතර, ඒ සඳහා රුපියල් බිලියන 117ක විදේශ විනිමයක් පසුගිය වසරේ වැයවී ඇත. මේ වන විට ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් සමාගමට ගොවි පවුල් 10000කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර, උක් වගා ස්ථාපිත කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 6200ක් පමණ වේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
