විහාරස්ථානයකට සැදැහැවතෙක් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර පිටබැද්දර ප්‍රදේශයේ කරා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දින කීපයක් තිස්සේ සිදු කළ විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස දුර්ලභ එම ඇත් දළ යුගලය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවන් ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි. සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර සුමිත් පොතුපිටිය