රුපියල් 4000ක පැමිණීමේ දීමනාව එකවරම කපා දැමීමට විරෝධය පළ කරමින් සහ රජයේ සේවකයන් හට වැඩි කළ රුපියල් 5000 තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර පණ්ඩුලගම ප්රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවක සේවිකාවෝ පිරිසක් අද (01දා) තම විරෝධය පල කර සේවයෙන් පිටව ගියහ.
පාලනාධිකාරිය විසින් පසළොස්වක පොහොය දිනයෙත් තමන්ගෙන් වැඩ ගන්නා බවත්, කොවිඩ් වැළඳුණු සේවකයන් ගැන කිසිදු සොයා බැලීමක් හෝ සිදු නොකරන බවද එම සේවකයෝ මෙහිදී පැවැසූහ.
මෙහිදී අදහස් දැක්වූ ඇඟලුම් කම්හල් සේවකයෙකු මෙසේ පැවසීය.
අද අපි මේ පාරට බැහැලා ඉන්නේ අපේ දීමනා කප්පාදු කරලා තිබෙන නිසයි. රාජ්ය සේවකයන් හට වැඩි කරපු රුපියල් පන්දාහක මුදල අපි වගේ අසරණ සේවකයන්ටත් දෙනවා වෙනුවට, දැන් අපේ පැමිණීමේ දීමනාවක් කපා දාලා. අපේ ඉල්ලීම තමයි රුපියල් නව දහසකින් පඩි වැඩි කරන්න කියන එක, අනිත් කාරණාව තමයි පසළොස්වක පොහොය දිනයේත් අපෙන් වැඩ ගන්නවා. ඒක නතර කරන්නත් ඕනෑ.
රටේ කොරෝනා වසංගතය ඇති වෙච්ච වෙලාවේ අපි තමයි හොඳටම වැඩ කරලා ලංකාවට ඩොලර් ගෙනාවෙ. ඒත් මේ අහිංසක සේවකයන්ට කොරෝනා හැදුණු වෙලාවේ බඩු මල්ලක් වත් දුන්නේ නෑ. අඩුම තරමේ පාලනාධිකාරිය මොකද උනේ කියලා ගෙදරට දුරකථන ඇමතුමක්වත් ලබා දුන්නේ නැහැ. ඇයි අපි වගේ අහිංසකයන්ට මෙහෙම කරන්නේ.
විසදුමක් නොලැබීම හේතුවෙන් සේවකයන් සියළු දෙනා අද (01දා) දහවල් සේවයෙන් ඉවත්ව නිවෙස් කරා පිටව ගියහ.