ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු නොකළහොත් ලබන වසරේ දී විශාල පෝෂණ ඌනතාවයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.
ඊයේ (29) පස්වරුවේ වනජීවි හා වන සම්පත් අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළයුතු වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
එම සාකච්ඡාවට ආචාර්ය සුරේන් බටගොඩ, අමාත්‍යාංශයේ ලේකම්වරුන් වන රෝහණ පුෂ්පකුමාර හා චන්ද්‍රා හේරත් මහත්ම මහත්මීහු මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
මේ වනවිට අප රටේ කිරි, බිත්තර, හා කුකුළුමස් නිෂ්පාදනයන්හි ඇති වී ඇති බිඳ වැටීම් පිළිබඳව මෙහිදි අවධාරණය විය. මේ වනවිට දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කින් හා බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින් ද පහළට ගොස් තිබේ.
මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් පවතී. විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හා වෙනත් නිෂ්පාදන මෙන්ම රසායනික පොහොර හිඟය හා ඉන්ධන හිඟය නිසා පශු සම්පත් කර්මාන්තය බිඳ වැටී ඇති බව මෙහිදී අවධාරණය විය.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ ඉදිරි කටයුතූ සඳහා ඩොලර් මිලියන 900ක අවශ්‍යතාවයක් පවතී. එවැනි මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් එකවර ලබා ගැනීමේ අපහසුතා පවතින හෙයින් කෘෂිකර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩොලර් ගිණුමක් ආරම්භ කිරීමට අවධානය යොමු කිරීමට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා යෝජනා කළේය.
මෙම ගිණුම සඳහා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්, ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් ආධාර කණ්ඩායම් මඟින් එම මුදල ලබා ගැනීමට කටයුතු කළ හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
ඒ අනුව ඩොලර් ගිණුමක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ඊට අමතරව මෙවර යල කන්නයේ දී වගා කර ඇති බඩඉරිගු සඳහා යුරියා පොහොර ලබා දීම මෙන්ම ලබන මහ කන්නයේ දී වැඩි ඉඩම් ප්‍රමාණයක බඩඉරිගු වගා කිරීමට අවශ්‍ය බීජ හා යුරියා පොහොර ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමට යෝජනා විය. ඒ අනුව මොනරාගල හෙක්ටෙයාර් 25,000ක්, මාදුරු ඔය අක්කර 5000ක්, කන්තලේ අක්කර 500ක්, කන්දකාඩු ගොවිපළේ අක්කර 3000ක බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
2018 වසරේ මෙරට කෘෂිකර්මාන්තයේ ලැබූ සාර්ථකත්වය ලඟා කර ගැනීමට නම් එම ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ආචාර්ය සුරෙන් බටගොඩ මහතා සඳහන් කළේය.
එම කාලයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර මහතා කෘෂිකර්මාන්තයේ ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා පසුගිය දශක හතරක දී එක් කන්නයක ලද වැඩිම වී අස්වැන්න හා බඩඉරිගු අස්වැන්න 2018/19 මහ කන්නයේ දී ලබා ගැනීමට හැකි විය. එමෙන්ම අනිකුත් බෝග නිෂ්පාදනයන්හි ද විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි වුව බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.