රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ජනමතයකින් තොර විසදුමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කලේ අද (05දා) වාද්දුවේ දී පක්ෂ ක්රියාකාරීන් පිරිසක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
ජනාධිපති හෝ මේ ආණ්ඩුව ඉවත් වන තුරු කිසිදු අන්තර් කාලීන ආණ්ඩුවකට ජාතික ජන බලවේගය සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම වුනොත් මේ ගෝල්ෆේස් එකේ සහ මහපාරේ ජනතාව කරන සටන පාවා දීමක්.
ආණ්ඩුව එක්ක ඉන්න අය උත්සහ කරන්නේ, මේ ප්රශ්ණයට සැබෑ විසඳුමක් ලබාදෙනවා වෙනුවට බලය තහවුරු කර ගන්න උත්සාහ කරන එකයි. අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ හෝ ජාතික එකගතා පාලනයක් පැවැත්විය යුත්තේ මේ ආණ්ඩුවත් එක්ක නොවෙයි. මුලින්ම ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි. එසේ වනතුරු මේ ක්රියාවලියට ආරම්භයක් වත් ගන්න පුළුවන් කමක් නෑ. මේක ආණ්ඩුවේ වැරදි වහගන්න ලේබලයක් වෙන්න බෑ. උප්පරවැට්ටියක් වෙන්න බෑ. ඒ නිසා මොනවා කරන්නත් වෙන්නේ ඉවත් වීමෙන් පමණයි. ජනතා අභිලාෂයන් වලට පයින් ගහන්න අපි සූදානම් නැහැ.
ආර්ථික අර්බුදය නිසා රටේ දේශපාලන අර්බුදයක් පැන නැගිලා. මේ ප්රශ්නය ඉක්මනින් නිමා කරන්න ඕන. දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕන ආර්ථික අර්බුදයට විසඳුමක් එක්කයි.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දෙ දුන්නු හැටනම ලක්ෂයෙන් දැන් හැට ලක්ෂයක් වත් කියනවා එතුමට යන්න කියලා.ජනතාවට ලබන මාසයේ වනවිට වාහන මහපාරේ තියලා යන්න වෙනව. ඉන්ධන නැති වෙනවා. ගෑස් නැති වෙනවා කිරිපිටි නැති වෙනවා මේක කියන්නේ අපි නෙවෙයි අලි සබ්රි මහත්තයා.එයා කියනවා අපේ අතින් වුන වැරදි පිළිගන්නවා කියලා. එහෙම කිව්වා කියලා ආණ්ඩුව ශුද්ධවන්ත වෙන්නේ නැහැ.
මේ අපි ගතකරන්නෙ යුග පරිවර්තනයක යුග පෙරළියක කාලයක්. ඒ බව ජනතාව මහ පාරේ කරන සාමකාමී අරගල වලින් පෙනී යනවා.ඔවුන් කියන්නේ 74 වසරක සාපය නිමා කරන්න ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන්න කියලා.උත්තරය පරක්කු වෙන්න පරක්කු වෙන්න මීට වඩා තත්ත්වය බරපතළ වෙනවා.
දැන් ආණ්ඩුවේ පය බුරුල් වෙලා. කොයිවෙලාවෙ වැටෙයිද කියල විශ්වාස නෑ. එහෙම පය බුරුල් වෙලා නිසා තමයි රෝහිතලා ජොන්ස්ටන් ලා වගේ අය අයින් කරේ. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කමෙන් අයින් කළේ.
මේකට විසඳුම් ලබාදෙන්න ජනමත විචාරණයකට යන්න ඕන. ජනතාව විශ්වාස කරන ආණ්ඩුවෙන් මාස හය හතකින් රට ගොඩ ගන්න පුළුවන්.අලුත් ජනවරමකින් තොරව විසඳුමක් නෑ යනුවෙන් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය
